Monday, July 18, 2016

යහපත් අනාගතයක්


තම තමන්ගේ ජීවිත නිසියාකාරව හැඩගස්වා ගැනීම වෙනුවෙන් සියල්ලෝම සිහින දකිති. ප්‍රාර්තනා කරති. ඒ සිහින, ප්‍රාර්ථනාවන් යතාර්ථයක් වනු දැකීම කාගේත් අභිප්‍රායයි. ඒවා ඉටු කර ගැනීමට තමන්ට බාධා කරන, හරස් වන බලවේග මොනයම් හෝ ක්‍රමයකින් පරාජය කිරීමට මිනිසා පෙළඹෙන්නේය. එය මිනිස් ස්භාවයයි. තම තමන්ගේ අරමුණු වෙනුවෙන් පමණත් නොව තමන්ගේ රටට දේශයට එරෙහිව නැගෙන්නා වූ බලවේග පරාජය කිරීමට ජාතියක් වශයෙන් සාමූහිකව නැගී සිටින්නේ නම් එය කොතරම් අපූරුද ...... සැබවින්ම අද වන විට එය සමාජීය වශයෙන් ප්‍රමුඛ අවශ්‍යතාවයකි.
අපේ දේශය මේ වන විට  තීරණාත්මක අවධියක් කරා ප්‍රෙව්ශ වී ඇත. දශක තුනකට වැඩි කාලයක් තිස්සේ පැවති රුදුරු ත්‍රස්තවාදයේ බියකරු සෙවණැලි මේ වන විට පහව ගොස් ඇත. නමුත් රට තුළ සිදු වන යම් යම් සිදුවීම් තුලින් එය එසේම ද යන බිය ඇති කරත් බුද්ධිමත්ව සිතා බලා අන් අයට තමන්ගේ සිතුවිලි පාලනය කිරීමට ඉඩ නොදීමට තමන් වග බලා ගත යුතුය. මෙතෙක් කලක් අපට වැරදුනු තැනක් බොහෝය. නිවැරදි කර ගත යුතු තැන් බොහෝය. ඒවා නිවැරදි කරගෙන ශක්තිමත් පදනමක් ගොඩ නගා ඒ මත සිට රට ගොඩ නගන්නට කැප විය යුතු කාලය එළඹ ඇතැයි සිතේ.
දෙදහස් පන්සිය වසරක මහා ශ්‍රේෂ්ඨත්වය ගැන බයිලා ගසමින් තමන්ගෙන් ඉටුවිය යුතුකම් වගකීම් ගැන අමතක කරමින් සිටින දේශය අවදි කළ යුතුය. බයිලා ගසන මේ ශ්‍රේෂ්ඨ සංස්කාතිය විනාශ වන්නේ බොහෝ කාලයක සිටය. දේශපාලනය සෑම ක්ෂේත්‍රයකටම වින කර අවසන්ය. මිනිසත්කම අභිබවා මිලේච්ඡත්වය හිස ඔසවා අවසන්ය. සහජීවනය මත පදනම් වූ සමාජය ආත්මාර්ථකාමී මානව ක්‍රියාකාරකම් හමුවේ දෙදරා ගොස්ය. ජාතියක් වශයෙන් අවධි විය යුතු කාලය එළඹ ඇතැයි කියන්නේ ඒ නිසාය.
පෙරදිග ධාන්‍යාගාරය අද වන විට දරුණු ආර්ථික අවපාතයකට ගොදුරු වී ඇත. උද්ධමනය සීග්‍රයෙන් වැඩි වන අතර ජනතාවගේ ජීවන තත්තවය පිරිහෙමින් පවතී. රුපියල්‍ෙ අගය එන්න එන්නම බාල්දු වන අතර ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට කැප විය යුත්තේ මේ නිසාය. ධනය කේන්ද්‍ර කොටගත් සමාජයක මානුශීය ගුණ සුවද ක්‍රමයෙන් වියැකෙමින් පවතී. අධ්‍යාපන ක්‍රියාවලියට සිදුව ඇත්තේත් මෙයම නොවේද... නිර්මාණාත්මක චින්තනය වියැකී ගොසින්ය. අන්ධානුකරණයෙන් මිදී ලෝකය දෙස අලුත් ඇසකින් බලන්නට හැකි නව පරම්පරාවක් බිහි කිරීම කාලීන අවශ්‍යතාවයකි. සරුව පිත්තල හින මැද ජීවත් වන රටේ ජව සම්පන්න තාරුණ්‍යය අවධි කළ යුතුය. බටහිර ගැති චින්තනයෙන් මිදී අපේකම, දේශීයත්වය හදුනා ගන්නට උචිත පසුබිමක් සකස් කර දීම වගකිව යුත්තන්ගේ වගකීමකි. යහපත් අනාගතයක් වෙනුවෙන් සිහින දකිනවා වෙනුවට ඒ වෙනුවෙන් අප නොපමාව ක්‍රියාත්මක විය යුතුය.



දනුෂි ජයවර්ධන

No comments:

Post a Comment