Sunday, July 31, 2016

කරච්චලේ



කොළඹ ඇවිදිනවා කියන එකත් ලේසි පහසු කටයුත්තක් නෙවෙයිනෙ. එක වැඩක් නෙවේ වැඩ කිහිපයක්ම කර ගන්න තිබුණු නිසා උදේ ඉඳන් බස්වල එහෙ මෙහෙ ගිහිල්ලා පුද්ම මහන්සියක්. පිච්චෙන කාෂ්ඨක අව්ව, ට්‍රැෆික් එක, සෙනග මේ හැමදේකින්ම ගතට විතරක් නෙවේ හිතටත් දැණුනෙ පුදුම වෙහෙසක්. අපහසුවක්. කොහොමින් කොහොම හරි වැඩ ටික ඔක්කොම එකම දවසින් ඉවර කරගෙන බස් එකට නැග්ගෙ ගෙදර එන්න. සීට් එකට ඔලුව තියාගෙන යාන්තමට ඇස් දෙක පියාගත්තෙ මහන්සිය වැඩිකමට. එක පාරටම උඩ ගිහිජ ඇහැරුණේ කණ ළගින් මහා ඝෝෂාවක් ඇහුණ නිසා. නින්දෙන් නැගිටපු ගමන් නිසාද මන්දා තත්පර ගාණක් ගියා පස්සෙයි තේරුනේ ඒ සින්දුවක් කියලා. මටම හිනා.
ඔන්න අද අපේ පොදු මගී ප්‍රවාහන සේවය. (හැබැයි ඉතිං හැම බස් එකකටම මේක අදාළ නැහැ. බහුතරයක් පෙෳද්ගලික බස් තමයි) සිංදු අහන්න අපි ඔක්කොම කැමතියි. සින්දුවකින් ඕනෙම කෙනෙක්ගෙ හැගීම්වලට කතා කරන්න පුලුවන්. (අද කාලෙ සින්දුවලින් කරන්නෙ මිනිසුන්ගෙ තියෙන හැගීමුත් නැති කරන එකනෙ.ඒක වෙනම කතාවක්) බස්වල දාන සින්දුවල සින්දුවට වඩා ඇහෙන්නෙ දඩි බිඩි ගාන සංගීතෙ. සින්දුවක් උනත් මිනිහෙක්ට අහගෙන ඉන්න පුලුවන් එකක් වෙන්න එපැයි.
 සමහර තරුණ පිරිස් මේ ඝෝෂාකිරී සංගීතයට කැමති වුණත් ඒ අය විතරක්ම නෙවෙයි මේ බස්වල යන්නෙ එන්නෙ. මහලු උදවිය, ගැබිණි මව්වරු, කුඩා දරුවො පවා යනවා. සමහර අවස්ථාවල මේ සින්දු දාන්නෙ උපරිම සද්දෙන්. දුර ගමන් බස්රථයක් නම් පොඩ්ඩක් සිතන්න පැය කිහිපයක් මේ ඝෝෂාව අහගෙන ඉන්නවා කියන එක කොයිතරම් නම් හිසරදයක්ද කියලා. ඒ මදිවට දැන් ටීවි එකකුත් තියනවා බස්වල. ඒවගෙ පෙන්වන සමහර දේවල් බලන්නත් ලැජ්ජයි. ඉදිරිපෙළ අසුන පූජ්‍ය පක්ෂය වෙන් කරලා මේ වගේ වීඩියෝ පෙන්වන එක කොයිතරම් දුරකට සාධාරණ ද කියන දේ සිතා බැලිය යුතුයි නේද...

බස්රියකට මගියෙක් ගොඩවෙන්නෙ සැප පහසුව ලබාගෙන නොවෙයි තමයි. ඒත් අපහසුවකින් තොරව ගමනාන්තයට ළගා වීමට සම්පූර්ණ අයිතියක් ඒ මගියා සතුයි. ඒ නිසා බස්රථ හිමියන් හා කොන්දොස්තර මහතුන් තමන්ගේ මඩිය තද කරගැනීම පිලිබඳව පමණක් නොසිතා ගුනාත්මක සේවයක් තුළින් මගියා තෘප්තිමත් කිරීම ද වගකීමකි. 






2 comments:

  1. ඒ්ක නම් අැත්ත තියෙන ප්‍රශ්ණ තවත් වැඩි වෙනව බස් වල නැංගම.

    ReplyDelete