Sunday, July 24, 2016

තමන්ගේ වල තමන්ම කපා ගැනීම


වර්තමානයේදී මිනිසා අබිමුව විවිධ තර්ජන, අබියෝග පවතින බව අමුතුවෙන් කිවයුතු දෙයක් නොවේ. නමුත් ඒ සියල්ලටම පාහේ වගකිව යුතු වන්නේද මිනිසාය. මිනිසාගේ ක්‍රියාකාරකම්ය. ඒ අතරින් ප්‍රමුඛ වන්නේ මිනිසා විසින් තමන්ට ජීවය ලබා දෙන, තමන්ව සුරක්ෂිත කරන්නා වූ පරිසරයට එනම් ස්වභාවදහමට එරෙහි වීමයි. මේ නිසා පෙර නොවූ විරූ ලෙස පරිසරයේ සමතුලිතතාවය බිඳී ගොස් ඇත. නිසි කලට වැසි නොලැබෙන අතර අධික උෂ්ණත්වය යන කාරණා මෙහිදී දැවෙන ප්‍රශ්නයක් වී ඇත.
අතීතයේ සිටම මිනිසා සහ පරිසරය අතර පැවතියේ අවියෝජනීය බැඳීමකි. කෘෂිකර්මාන්තය මෙන්ම අපේ අනෙකුත් ජීවනෝපායන් සකස් වූයේද හිතකර පාරිසරික තත්ත්වයන් හි අනුහසිනි. නමුත් ක්‍රමයෙන් සිදු වූ ජනගහන වර්ධනයත් සමග 20 වන සියවස වන විට වඩාත් අහිතකර තත්ත්වයන් ඇති වන්නට විය. අයහපත් මානව ක්‍රියාකාරකම් මේ තුලින් වැඩි වූ අතර ඒවායෙහි අතුරු ඵල භුක්ති විඳීමට සිදු වූයේද මිනිසාටමය. නමුත් මේ කිසි දෙයකින් මිනිසා පාලනය කිරීමට හෝ ඔවුන්ගේ අදහස් වෙනස් කිරීමට නොහැකි වූ අතර එන්න එන්නම මානව ක්‍රියාකාරකම් තුළින් මිහිමව විනාශ මුඛයට ඇද දැමෙයි.
විද්‍යාවේ හා තාකෂණයේ දියුණුවත් සමග මිහිතලය තවත් විනාශ වන්නට පටන් ගැනුනි. ඒවායෙන් ලබන ක්ෂණික ප්‍රතිලාභ හමුවේ මිනිසා තෘප්තියක් ලැබුවා මිසක ඉන්පසුව උදා වන අඳුරු යුගය පිළිබඳව සිතන්නටවත් ඔවුන් කාලය මිඩංගු කරන්නේ නැත. තමන් කරන් කියන දෙයින් අහිතකර ප්‍රතිඵල උදා වන්නේ අනාගත පරපුරට බව දැන් දැනත් ඔවුන් මිහිතලය සුරක්ෂිත කිරීමට කිසිඳු උත්සාහයක් හෝ නොගන්නේ නොපෙනෙන අනාගතයක් වෙනුවෙන් වෙහෙසවනවාට වඩා ජීවත් වන තමන්ගේ වර්තමානය සුඛිත කර ගනු පිණිසය.
නමුත් වර්තමානය වන විට ලෝකයේ බොහෝ දෙනෙකුගේ ඇස් ඇරී ඇත. පරිසරය සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් හඩක් දස දෙසින් ඇසෙයි. පරිසර විද්වතුන් පෙන්වා දෙන ආකාරයට අයහපත් පරිසර තත්ත්වයන් සෙෳඛ්‍ය ගැටලු ද ඇති කරයි. උෂ්ණත්වය වැඩි වීමත්, ආන්ද්‍රතාවය වර්ධනයත් හේතු කොට ගෙන මැසි මදුරුවන් බහුල වීමෙන් රෝග ව්‍යාප්තිය තව තවත් වර්ධනය වනු ඇත. මේ නිසා ඉදිරියේදී බරවා. මැලේරියා, ඩෙංගු වැනි වසංගත රෝග ව්‍යාප්තියේ අවදානම අදට වඩා සක්‍රීය වනු ඇත. ප්ලිස්ටික් ආශ්‍රිත කර්මාන්ත, වායුසමන, ශීතකරණ.යන්ත්‍ර ආදිය භාවිතයේදී පිටවන ක්ලෝරෝප්ලුවරෝ කාබන් වායුව ඕසෝන් වියනට හානි පමුණුවන බව ඔබ දන්නවාද.... ඕසෝන් වියනට හානි වීම තුලින් හිරැගේ අහිතකර පාරජම්බුල කිරණ පොළවට පතිත වී විවධ චර්ම රෝග ඇති කරනවා පමණක් නොව මත්ස්‍ය සම්පත විනාශ වීම වැනි කාරණාවන්ද සිදු වේ.

මේ සියලු දේ නවතාලිය නොහැකි තත්ත්වයකට අද පත්ව තිබේ. නමුත් යම්කිසි දුරකට පාලනය කළ හැකිය. ඒ තුලින් සිදු වන්නා වූ විනාශය යම් තරමකට හෝ නවතාලිය හැකිය. එහිදී කළ යුතු ප්‍රධානතම දේ වන්නේ මිනිස් ක්‍රියාකාරකම් පාලනය කිරීමයි. වන විනාශය, පොසිල ඉන්ධන දහනය, විද්‍යාත්මක තාක්ෂණික අත්හදා බැලීම් තුලින් පරිසරයට මුදා හරින අධික විෂ වායු ආදිය නවතා ලිය හැකි නම් අනාගත පරපුර වෙනුවෙන් මිහිමව සුරැකීමට අපට හැකි වනු ඇත. සුන්දර පරිසරය අපගේ ගත සිත විඩාව දුරලයි. සැවොම තෘප්තිමත් කරයි. මේ නිසා මිහිමව සුරැකීමට සැවොම අත්වැල් බැඳගත යුතු කාලය එළඹ ඇත. නැතිනම් සිදු වන්නේ තමන්ගේ වල තමන් විසින්ම කපා ගැනීමකි.


දනුෂි ජයවර්ධන

No comments:

Post a Comment