Monday, July 18, 2016

අතරමං වූ ළමා කාලය


කවුරුත් කියනවා අහලා තියෙනවා ද  මහලු අවධිය තමයි ජීවිතේ සුන්දරම කාලය කියලා .... නෑ නේද... හැමෝම කැමති තමන්ගෙ තරුණ කාලයට. නැත්නම් ළමා කාලයට. ඒ ඇයි කියනවා නම් ටික ටික වයසට යනවා කියන්නෙ මැරෙන්න කිට්ටු වෙනවා කියන එකනෙ. ආශාව අත්හරින්න කියලා බුදුහාමුදුරුවො දේශනා කලාට නිර්වාණය පේන තෙක් මානයකවත් නැති කාලයක ජීවත් වන අපට නම් තව එක දවසක් හරි වැඩිපුර ජීවත් වෙන්න තමයි ආශාව.
අපේ පුංචි කාලෙ, තරුණ කාලෙ තමයි අපේ ජීවිතේ සුන්දරම කාලෙ කියලා පම්පෝරි ගැහුවට මොකද අද කාලෙ ළමයිනුයි, තරුණයොයි තමන්ගෙ ජීවිතේ සුන්දරම කාලෙ ඒ සැබෑ සුන්දරත්වය විඳිනවාද කියන එක නම් ගැටලුවකි. මොන්ටිසෝරි යන්නත් කළින් ළමයි එළකියුෂන්.  එක වසරෙ ඉඳන් ශිෂ්‍යත්ව පංති. පහේ ශිෂ්‍යත්වය ඉවර වුණ ගමන් සාමාන්‍ය පෙළ පංති. ඊට පස්සෙ උසස් පෙළ. කැම්පස් ගිහිනුත් විභාග, පැවරුම් අස්සෙ අවුරුදු තුන හතරක් අපේ තරුණ ජීවිත හැංගිලා. ඊට පස්සෙ පිස්සු හැදිලා වගේ රස්සාවක් හොයන්න දගලනවා. ඔන්න අපේ සුන්දරයි කියන කාලෙ ගෙවිලා යන හැටි. කෙනෙක්ට කියන්න පුලුවන් මේ දේවල් තමයි ජීවිතේ කර ගන්න ඕනෙ කියලා. ඇත්ත. ඒත් ජීවත් වෙන්න ඒ දේවල් ඕන කරනවා වුණත් ජීවිතේ කියන්නේ ඒ දේවල් විතරක් නෙවේ. සතුට, සැනසීම මේ දේවල් අස්සෙ තියනවාද.... නෑ නේද...
අපේ අම්මලාගෙ තාත්තලාගෙ කාලෙත් එක්ක බලපුවාම ඒ අය තරම් සරල ජීවිතයක් අපි ගත කරලා නෑ තමයි. නමුත් අද කාලෙ ළමයි එක්ක බලද්දි නම් අපිට එයාලට වඩා සුන්දර ළමා කාලයක් තිබිලා තියෙනවා. පරිසරයත් එක්ක අපි ජීවිතේ වින්ඳා. මතක් කර කර සතුටු වෙන්න පුලුවන් සුන්දර අතීතයක් තිබ්බා. ඇලේ දොලේ නාලා, වෙලේ ඇවිදලා, පිදුරු ගොඩේ නටලා, ගස් උඩ නැගලා ගඩා ගෙඩි කාලා, ගොයම් කපපු කාලෙට වෙලේ සරුංගල් ඇරලා එල්ලෙ ගහපු අතීතයක් අපිට තිබ්බා. දැන් කාලෙ ළමයි ඉතිං ඕවා දකින්නෙ ටීවි එකේ කතාවල තමයි. සමහරුන්ට වෙලක නියරක හරියට ඇවිදගන්නවත් පුලුවන්ද.. සල්ලි ගෙවලා ස්විමිං පූල් එකක පීනන්න උගන්වන කාලෙක ඉතිං ඕවා අරුමෙකුත් නෙවේ එක අතකට. පිදුරු ගහක් ඇගේ ගෑවුණත් ඇලජික් වෙන කාලෙක ටයිල් පොළවෙ ඇවිදින්නෙත් සෙරෙප්පු දාගෙන.

හැබැයි ඉතිං මේකට ළමයින්ට කරන්න දෙයක් නෑනෙ. මේවා දෙමාපියන්ගෙ වැරදි. පොතේපතේ දැනුමක් විතරක් ළමයින්ට දීලා විභාග පාස් කරලා තමන්ගෙ දරුවව හොඳ තැනකට ගෙනියන්න මහන්සි ගන්නවා මිසක ළමයට අයිති ළමා කාලය ඔවුන්ට විඳින්න ඉඩ දෙන්නෙ නැහැ. මදක් සිතන්න ළමා කාලය සදාකාලික නැහැ. ඒ ජීවිතය ඔබේ දරුවාටත් රිසි සේ විඳින්න දෙන්න. ඒ අත්දැකිම දරුවාට දෙන්න. පොතේ පතේ දැනුමෙන් පමණක් නොව ජීවිතෙන්ම පාඩම් ඉගන ගැනීමට දරුවාට අවස්ථාව ලැබේවි එතකොට. 


දනුෂි ජයවර්ධන

No comments:

Post a Comment