Sunday, July 31, 2016

කරච්චලේ



කොළඹ ඇවිදිනවා කියන එකත් ලේසි පහසු කටයුත්තක් නෙවෙයිනෙ. එක වැඩක් නෙවේ වැඩ කිහිපයක්ම කර ගන්න තිබුණු නිසා උදේ ඉඳන් බස්වල එහෙ මෙහෙ ගිහිල්ලා පුද්ම මහන්සියක්. පිච්චෙන කාෂ්ඨක අව්ව, ට්‍රැෆික් එක, සෙනග මේ හැමදේකින්ම ගතට විතරක් නෙවේ හිතටත් දැණුනෙ පුදුම වෙහෙසක්. අපහසුවක්. කොහොමින් කොහොම හරි වැඩ ටික ඔක්කොම එකම දවසින් ඉවර කරගෙන බස් එකට නැග්ගෙ ගෙදර එන්න. සීට් එකට ඔලුව තියාගෙන යාන්තමට ඇස් දෙක පියාගත්තෙ මහන්සිය වැඩිකමට. එක පාරටම උඩ ගිහිජ ඇහැරුණේ කණ ළගින් මහා ඝෝෂාවක් ඇහුණ නිසා. නින්දෙන් නැගිටපු ගමන් නිසාද මන්දා තත්පර ගාණක් ගියා පස්සෙයි තේරුනේ ඒ සින්දුවක් කියලා. මටම හිනා.
ඔන්න අද අපේ පොදු මගී ප්‍රවාහන සේවය. (හැබැයි ඉතිං හැම බස් එකකටම මේක අදාළ නැහැ. බහුතරයක් පෙෳද්ගලික බස් තමයි) සිංදු අහන්න අපි ඔක්කොම කැමතියි. සින්දුවකින් ඕනෙම කෙනෙක්ගෙ හැගීම්වලට කතා කරන්න පුලුවන්. (අද කාලෙ සින්දුවලින් කරන්නෙ මිනිසුන්ගෙ තියෙන හැගීමුත් නැති කරන එකනෙ.ඒක වෙනම කතාවක්) බස්වල දාන සින්දුවල සින්දුවට වඩා ඇහෙන්නෙ දඩි බිඩි ගාන සංගීතෙ. සින්දුවක් උනත් මිනිහෙක්ට අහගෙන ඉන්න පුලුවන් එකක් වෙන්න එපැයි.
 සමහර තරුණ පිරිස් මේ ඝෝෂාකිරී සංගීතයට කැමති වුණත් ඒ අය විතරක්ම නෙවෙයි මේ බස්වල යන්නෙ එන්නෙ. මහලු උදවිය, ගැබිණි මව්වරු, කුඩා දරුවො පවා යනවා. සමහර අවස්ථාවල මේ සින්දු දාන්නෙ උපරිම සද්දෙන්. දුර ගමන් බස්රථයක් නම් පොඩ්ඩක් සිතන්න පැය කිහිපයක් මේ ඝෝෂාව අහගෙන ඉන්නවා කියන එක කොයිතරම් නම් හිසරදයක්ද කියලා. ඒ මදිවට දැන් ටීවි එකකුත් තියනවා බස්වල. ඒවගෙ පෙන්වන සමහර දේවල් බලන්නත් ලැජ්ජයි. ඉදිරිපෙළ අසුන පූජ්‍ය පක්ෂය වෙන් කරලා මේ වගේ වීඩියෝ පෙන්වන එක කොයිතරම් දුරකට සාධාරණ ද කියන දේ සිතා බැලිය යුතුයි නේද...

බස්රියකට මගියෙක් ගොඩවෙන්නෙ සැප පහසුව ලබාගෙන නොවෙයි තමයි. ඒත් අපහසුවකින් තොරව ගමනාන්තයට ළගා වීමට සම්පූර්ණ අයිතියක් ඒ මගියා සතුයි. ඒ නිසා බස්රථ හිමියන් හා කොන්දොස්තර මහතුන් තමන්ගේ මඩිය තද කරගැනීම පිලිබඳව පමණක් නොසිතා ගුනාත්මක සේවයක් තුළින් මගියා තෘප්තිමත් කිරීම ද වගකීමකි. 






අස්ථිරයි



ඕනෑවටත් වැඩියෙන්
ආදරයට එපා
ආදරය කරන්නට
අහිමි වූ දිනයක
ඕනෑවටත් වැඩියෙන්
වේදනා විඳීවි නුඹ.....

Friday, July 29, 2016

අපිට අපි නැති වීම

විසිඑක් වන සියවසේ නවමු ප්‍රවණතාවය වන්නේ ගෝලීයකරණයයි. තවත් ලෙසකින් එය අර්ථ ලන්වන්නේ නම් ලෝකය එකම ආර්ථික හා සමාජීය රටාවකට එකමුතු වීම ගෝලීයකරණයයි. මෑතක් වන තුරුම කතා බහට ලක් වූ කාරණයක් වන්නේ විශ්ව ගම්මාන සංකල්පයයි. නමුත් අද වන විට එය විශ්ව පවුල දක්වා ගමන් කර ඇත. ගෝලීයකරණය ආන්දෝලනාත්මක විෂයක් වී ඇත්තේ මේ යටතේ එකම ආර්ථික රටාවක්, එකම සංස්කෘතියක ක්‍රියාදාමයක්, එකම ඇදහිලි පද්ධතියක් මේ යටතේ බිහිවෙමින් පවතින නිසාය.



ලෝකය මෑතක දී සිට අදහාගත නොහැකි තරමින් සංකෝචනය වෙමින් පවතී. අන්තර්ජාලය ලෝකය කුඩා කර ඇත. නවීන සන්නිවේදන හා තාක්ෂණික මෙවලම් ඇසුරින් ලොව රටවල් අතර පවත්නා දුරස් බව ක්‍රමයෙන් අඩුකර ඇත. අත දිගු කළ සැනින් ලෝකයේ ඒනෑම තැනක් හා සම්බන්ධ විය හැකිය. පෙර කී ලෙස විශ්ව ගම්මානය විශ්ව පවුලක් බවට පත් වූයේ මේ අනුවය.
සංවාත ආර්ථිකයක් ඇති රටවල් පවා පෙර නොවූ විරෑ ලෙස අන්තර් සම්බන්ධතා පවත්වයි. ඇමතුමක් මගින් ලොව ඈත කෙළවරක අයෙකු හා සම්බන්ධ විය හැකිය. එය කෙතරම් දියුනු තත්ත්වයකට පත්ව ඇත්ද කිවහොත් වෙනත් රටක ඇති භාණ්ඩයක් ගෙන්වා ගැනීමට පමණක් නොව වෛද්‍ය ප්‍රතිකාර පවා ලබා ගැනිමට හැකිය. ලෝකයම විසිත්ත කාමරයකට කොටු කර ඇත්තා සේය. ඉංග්‍රිසි භාෂාව හා නව තාක්ෂණික මෙවලම් පරිහරණයේ හැකියාව ඇති කාට වුවද නව තාක්ෂණයේ අනුහසින් මුලු ලෝකය තමා අසලින් මැවිය හැකිය.
අන්තර්ජාලය මගින් ලොවම ස්පර්ෂ කරන අතර ඉංග්‍රීසි භාෂාව පමණක් නොව ඉංග්‍රීසි සංස්කාතිය ද දුබල රටවල් කෙරෙහි බලපෑම් කෙරෙනු දැකිය හැකිය. බලවත් රටවල් සිය සංස්කෘතිකාංග වෙනත් රටවලට ව්‍යාප්ත කරන්නේ වඩා කැමැත්තෙනි. ඇමරිකානු සංස්කෘතික අධිරාජයයක් ලෙව පුරා වයාප්ත වීම ඉතා වේගයෙන් සිදු වේ. හොලිවුඩ් සිනමාව, කව්බෝයි චිත්‍රපට සම්ප්‍රදාය, පොප් සංගීතය දැනටමත් ලොව බොහෝ රටවල් ආක්‍රමණය කර හමාරය.
මානව වර්ගයාගේ සුව පහසුව උදෙසා මානව පරිශ්‍රමයෙහි ප්‍රතිඵල බෙදා හදා ගත යුතුයි. එහෙත් එය රටක අනන්‍යතාවය කෙරෙහි බලපෑම් කරන්නේ නම් ඒ ඉදිරියේ මුනිවත රැකිම බලවත් වරදකි. ගෝලියකරණයේ සාධනීය පක්ෂණ සැබවින්ම අප අලය කළ යුතුය. එහෙත් එයින් යම් සංස්කෘතික පසුබිමකට අනර්ථකාරී ක්‍රියාවක් සිදු වන්නේ නම් එය වහාම වැළැක්විය යුතුය.  








පිනි බිංදුවේ......

සැගවියන් ඉක්මනින්
තණපත් අතර
නොපෙනෙන්න...
හිරු නැගෙයි
ඔබ සොයයි
සිපගන්න නොව
දිවි උරා බොන්නට......


නංගිගෙන් ලියමනක්



පන්හිඳත් එක්ක ඔට්ටු වුණ
නුඹේ කවිකාරකම
තල් වැට මායිමේ
ඇස් බොඳ කරන මිරිගුවට
කෙසේ නම් හුරු වුණිද ?
පුංචි සන්ධියේදී වත්
රිදෙන්නට මගේ අත
නෑල්ලූ ඔබ
කෙලෙස හුරු වුණිද
බර ගිනි අවි දරන්නට..
බංකරේ අන්ධකාරේ
මූසල මැදියම් රැය
කණාමැදිරියන්
එලි කරනවාද....
නුඹේ නැගණිට
මුතු මාල හත තනන්නට
වන්නි හුලගත් එක්ක ඔට්ටු වෙන
අයියන්ඩි මතක් වන විට
ඇදුන්කනවා සත්තයි පපුව...
මල් මැකුන පරණ චීත්තය
එදා වගේම
කඳුළු උරා බොයි
අම්මගෙ දෑසින් වැටෙන..
නුඹෙ ලේ පුසුඹ දැවටුනු
හසුන ඊයේ ලැබුණාට
හිත කොහොම වාවම්ද...
දවස් දෙකකටවත්
ගෙදර ඇවිදින් යන්න
විරාමයක් නැතිද තව
නිවාඩුවට දුර වැඩිද?

Wednesday, July 27, 2016

කොන්දොස්තර තාත්තගේ දොස්තර පුතා





උන් මට විහිළු කළා
දොස්තර කියලා
තාත්තගේ රස්සාව
කොන්දොස්තර නිසා
අද උන් ඉරිසියා කරනවා
විහිළුව ඇත්තක් වූ නිසා

තනිකම අසුබයි


පිනි වියැකෙන
හිරු හිනැහෙන
මිහිරි උදයක
තනි පොල්කිච්චෙක්
ඉස්තෝප්පුවේ කෙළවරක...
ආත්තම්මගේ අප්පුඩියෙන්
ඉගිල ගියා වේගයෙන්
උගෙන් ගිලිහුන පිහාටුවක්
සුළගට පාවෙයි
හෙමින් හෙමින්....

සිඟන්නී


සියල්ලන්ගෙන් යදින්නී
කුසට අහරක් සොයන්නී
මහතුන්ගෙ දෙපා පිසින්නී
දරුවන්ට කවන්නී
සෝ තැවුල් උහුලන්නී
රැවුම් ගෙරවුම් ඉවසන්නී
තැනින් තැන ලගින්නී
ඈ සිඟන්නී....

Sunday, July 24, 2016

නිවාඩු කාලේ








මේස පුටු දසත විසිරී
කලු ලෑල්ල බිත්තියට වාරු දී
හුණු කොට්ට සුසුම් හෙලයි
හුණු කෑලි නැති සොවින්....
වේවැලත් පාලුවෙන්
දගකාරයින් නැති නිසා
සවන් පිරූ සිනාරැල් නැත
බිත්ති අද ගොලු වෙලා....
මල් නැතුව තනිවෙච්ච
මල් බදුන මේසෙ උඩ
ඉකි ගසයි හීනියට....
ඉදල් කොසු වැඩ නැතිව
මුල්ලකට වී තැවෙනවා
ගුරු පුටුව එදා වගේම
මේසයට තනි රකිනවා....

නිදහසක් සොයමි







එක වසර එළකියුෂන්
ශිෂ්‍යත්වෙ ටියුෂන්
ඇයි සා.පෙ(ළ)?????
ඔන්න පටන් අරන්
A/L රිවිෂන්....

කඳුල මෙයැයි....







සිහිනෙකින්වත් නොපැතු ලෙස
සැදූ ලෝකය අහිමි වූ විලස
කකියන සිත වැලපෙන විට
නුඹ පමණක් රහසින්
දෙකොපුලට තනි රැක්කා....
සිහිනයන් යථාවක් වෙමින්
සිනා මල් පොකුරු පීදී
දිවි මග තුටින් බර වෙද්දිත්
නුඹ පමණක් රහසින්
දෙකොපුලට තනි රැක්කා.....

තමන්ගේ වල තමන්ම කපා ගැනීම


වර්තමානයේදී මිනිසා අබිමුව විවිධ තර්ජන, අබියෝග පවතින බව අමුතුවෙන් කිවයුතු දෙයක් නොවේ. නමුත් ඒ සියල්ලටම පාහේ වගකිව යුතු වන්නේද මිනිසාය. මිනිසාගේ ක්‍රියාකාරකම්ය. ඒ අතරින් ප්‍රමුඛ වන්නේ මිනිසා විසින් තමන්ට ජීවය ලබා දෙන, තමන්ව සුරක්ෂිත කරන්නා වූ පරිසරයට එනම් ස්වභාවදහමට එරෙහි වීමයි. මේ නිසා පෙර නොවූ විරූ ලෙස පරිසරයේ සමතුලිතතාවය බිඳී ගොස් ඇත. නිසි කලට වැසි නොලැබෙන අතර අධික උෂ්ණත්වය යන කාරණා මෙහිදී දැවෙන ප්‍රශ්නයක් වී ඇත.
අතීතයේ සිටම මිනිසා සහ පරිසරය අතර පැවතියේ අවියෝජනීය බැඳීමකි. කෘෂිකර්මාන්තය මෙන්ම අපේ අනෙකුත් ජීවනෝපායන් සකස් වූයේද හිතකර පාරිසරික තත්ත්වයන් හි අනුහසිනි. නමුත් ක්‍රමයෙන් සිදු වූ ජනගහන වර්ධනයත් සමග 20 වන සියවස වන විට වඩාත් අහිතකර තත්ත්වයන් ඇති වන්නට විය. අයහපත් මානව ක්‍රියාකාරකම් මේ තුලින් වැඩි වූ අතර ඒවායෙහි අතුරු ඵල භුක්ති විඳීමට සිදු වූයේද මිනිසාටමය. නමුත් මේ කිසි දෙයකින් මිනිසා පාලනය කිරීමට හෝ ඔවුන්ගේ අදහස් වෙනස් කිරීමට නොහැකි වූ අතර එන්න එන්නම මානව ක්‍රියාකාරකම් තුළින් මිහිමව විනාශ මුඛයට ඇද දැමෙයි.
විද්‍යාවේ හා තාකෂණයේ දියුණුවත් සමග මිහිතලය තවත් විනාශ වන්නට පටන් ගැනුනි. ඒවායෙන් ලබන ක්ෂණික ප්‍රතිලාභ හමුවේ මිනිසා තෘප්තියක් ලැබුවා මිසක ඉන්පසුව උදා වන අඳුරු යුගය පිළිබඳව සිතන්නටවත් ඔවුන් කාලය මිඩංගු කරන්නේ නැත. තමන් කරන් කියන දෙයින් අහිතකර ප්‍රතිඵල උදා වන්නේ අනාගත පරපුරට බව දැන් දැනත් ඔවුන් මිහිතලය සුරක්ෂිත කිරීමට කිසිඳු උත්සාහයක් හෝ නොගන්නේ නොපෙනෙන අනාගතයක් වෙනුවෙන් වෙහෙසවනවාට වඩා ජීවත් වන තමන්ගේ වර්තමානය සුඛිත කර ගනු පිණිසය.
නමුත් වර්තමානය වන විට ලෝකයේ බොහෝ දෙනෙකුගේ ඇස් ඇරී ඇත. පරිසරය සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් හඩක් දස දෙසින් ඇසෙයි. පරිසර විද්වතුන් පෙන්වා දෙන ආකාරයට අයහපත් පරිසර තත්ත්වයන් සෙෳඛ්‍ය ගැටලු ද ඇති කරයි. උෂ්ණත්වය වැඩි වීමත්, ආන්ද්‍රතාවය වර්ධනයත් හේතු කොට ගෙන මැසි මදුරුවන් බහුල වීමෙන් රෝග ව්‍යාප්තිය තව තවත් වර්ධනය වනු ඇත. මේ නිසා ඉදිරියේදී බරවා. මැලේරියා, ඩෙංගු වැනි වසංගත රෝග ව්‍යාප්තියේ අවදානම අදට වඩා සක්‍රීය වනු ඇත. ප්ලිස්ටික් ආශ්‍රිත කර්මාන්ත, වායුසමන, ශීතකරණ.යන්ත්‍ර ආදිය භාවිතයේදී පිටවන ක්ලෝරෝප්ලුවරෝ කාබන් වායුව ඕසෝන් වියනට හානි පමුණුවන බව ඔබ දන්නවාද.... ඕසෝන් වියනට හානි වීම තුලින් හිරැගේ අහිතකර පාරජම්බුල කිරණ පොළවට පතිත වී විවධ චර්ම රෝග ඇති කරනවා පමණක් නොව මත්ස්‍ය සම්පත විනාශ වීම වැනි කාරණාවන්ද සිදු වේ.

මේ සියලු දේ නවතාලිය නොහැකි තත්ත්වයකට අද පත්ව තිබේ. නමුත් යම්කිසි දුරකට පාලනය කළ හැකිය. ඒ තුලින් සිදු වන්නා වූ විනාශය යම් තරමකට හෝ නවතාලිය හැකිය. එහිදී කළ යුතු ප්‍රධානතම දේ වන්නේ මිනිස් ක්‍රියාකාරකම් පාලනය කිරීමයි. වන විනාශය, පොසිල ඉන්ධන දහනය, විද්‍යාත්මක තාක්ෂණික අත්හදා බැලීම් තුලින් පරිසරයට මුදා හරින අධික විෂ වායු ආදිය නවතා ලිය හැකි නම් අනාගත පරපුර වෙනුවෙන් මිහිමව සුරැකීමට අපට හැකි වනු ඇත. සුන්දර පරිසරය අපගේ ගත සිත විඩාව දුරලයි. සැවොම තෘප්තිමත් කරයි. මේ නිසා මිහිමව සුරැකීමට සැවොම අත්වැල් බැඳගත යුතු කාලය එළඹ ඇත. නැතිනම් සිදු වන්නේ තමන්ගේ වල තමන් විසින්ම කපා ගැනීමකි.


දනුෂි ජයවර්ධන

Friday, July 22, 2016

ගංවතුර


ධනවතුන් දිළින්න් කළ
සිනාවක කඳුලු සිතුවම් කළ
ඳි වත පමණක් ඉතිරි කළ
දිවිය ගැන ඇගයීමක් නොකළ
මහා සාපයක් විය

ප්‍රාර්ථනා





කලුවර මැදියමේ
කඩුපුල් මල් පිපුණාට
ලොවක් ඇහැරෙන හිමිදිරියේ
මිහිරි සියොත් නද ඇසුණාට
බුද්ධියේ තිමිර පට ඉරා
බලන්නට සිතුණාට
ගොඩ ගැසුණු පොත් ගොන්න
සිතට බර දැනුනාට
මව්පියන්  හීන මවන
පැතුම් ලොව කැන්දන්න
දිරි දෙන්න හැමදාම
දයාබර වී හදට..

නොඑන පුතු එනතුරා

නුබ ගැබ පුරා
දිනිදු හිනැහිලා
දිළිහෙන තාරුකා
මවයි රූ රටා
හෙලන සෝ සුසුම්
මද පවනෙ දැවටිලා.....
මපුතු තාම නාවේ කියා
පැළේ පිළ කොනකට වී
පෙරමග බල බලා
ඉන්නෙමි එනතුරා
මව් නුඹේ අද තනි වෙලා......

නැසීගිය ගුරු තරුව







අඩව් කස්තිරම් පද
සීරුමාරුවට ගලපා
පා පැළඳි සිලම්බු මත
ඳුලු පාවඩ එලා
මුදල් මත රජ කරන
ලෝකයක අප සිරවෙලා
වෙස් බැපු නුඹේ හිස
පොළව යට සැගවිලා.....


















Monday, July 18, 2016

අතරමං වූ ළමා කාලය


කවුරුත් කියනවා අහලා තියෙනවා ද  මහලු අවධිය තමයි ජීවිතේ සුන්දරම කාලය කියලා .... නෑ නේද... හැමෝම කැමති තමන්ගෙ තරුණ කාලයට. නැත්නම් ළමා කාලයට. ඒ ඇයි කියනවා නම් ටික ටික වයසට යනවා කියන්නෙ මැරෙන්න කිට්ටු වෙනවා කියන එකනෙ. ආශාව අත්හරින්න කියලා බුදුහාමුදුරුවො දේශනා කලාට නිර්වාණය පේන තෙක් මානයකවත් නැති කාලයක ජීවත් වන අපට නම් තව එක දවසක් හරි වැඩිපුර ජීවත් වෙන්න තමයි ආශාව.
අපේ පුංචි කාලෙ, තරුණ කාලෙ තමයි අපේ ජීවිතේ සුන්දරම කාලෙ කියලා පම්පෝරි ගැහුවට මොකද අද කාලෙ ළමයිනුයි, තරුණයොයි තමන්ගෙ ජීවිතේ සුන්දරම කාලෙ ඒ සැබෑ සුන්දරත්වය විඳිනවාද කියන එක නම් ගැටලුවකි. මොන්ටිසෝරි යන්නත් කළින් ළමයි එළකියුෂන්.  එක වසරෙ ඉඳන් ශිෂ්‍යත්ව පංති. පහේ ශිෂ්‍යත්වය ඉවර වුණ ගමන් සාමාන්‍ය පෙළ පංති. ඊට පස්සෙ උසස් පෙළ. කැම්පස් ගිහිනුත් විභාග, පැවරුම් අස්සෙ අවුරුදු තුන හතරක් අපේ තරුණ ජීවිත හැංගිලා. ඊට පස්සෙ පිස්සු හැදිලා වගේ රස්සාවක් හොයන්න දගලනවා. ඔන්න අපේ සුන්දරයි කියන කාලෙ ගෙවිලා යන හැටි. කෙනෙක්ට කියන්න පුලුවන් මේ දේවල් තමයි ජීවිතේ කර ගන්න ඕනෙ කියලා. ඇත්ත. ඒත් ජීවත් වෙන්න ඒ දේවල් ඕන කරනවා වුණත් ජීවිතේ කියන්නේ ඒ දේවල් විතරක් නෙවේ. සතුට, සැනසීම මේ දේවල් අස්සෙ තියනවාද.... නෑ නේද...
අපේ අම්මලාගෙ තාත්තලාගෙ කාලෙත් එක්ක බලපුවාම ඒ අය තරම් සරල ජීවිතයක් අපි ගත කරලා නෑ තමයි. නමුත් අද කාලෙ ළමයි එක්ක බලද්දි නම් අපිට එයාලට වඩා සුන්දර ළමා කාලයක් තිබිලා තියෙනවා. පරිසරයත් එක්ක අපි ජීවිතේ වින්ඳා. මතක් කර කර සතුටු වෙන්න පුලුවන් සුන්දර අතීතයක් තිබ්බා. ඇලේ දොලේ නාලා, වෙලේ ඇවිදලා, පිදුරු ගොඩේ නටලා, ගස් උඩ නැගලා ගඩා ගෙඩි කාලා, ගොයම් කපපු කාලෙට වෙලේ සරුංගල් ඇරලා එල්ලෙ ගහපු අතීතයක් අපිට තිබ්බා. දැන් කාලෙ ළමයි ඉතිං ඕවා දකින්නෙ ටීවි එකේ කතාවල තමයි. සමහරුන්ට වෙලක නියරක හරියට ඇවිදගන්නවත් පුලුවන්ද.. සල්ලි ගෙවලා ස්විමිං පූල් එකක පීනන්න උගන්වන කාලෙක ඉතිං ඕවා අරුමෙකුත් නෙවේ එක අතකට. පිදුරු ගහක් ඇගේ ගෑවුණත් ඇලජික් වෙන කාලෙක ටයිල් පොළවෙ ඇවිදින්නෙත් සෙරෙප්පු දාගෙන.

හැබැයි ඉතිං මේකට ළමයින්ට කරන්න දෙයක් නෑනෙ. මේවා දෙමාපියන්ගෙ වැරදි. පොතේපතේ දැනුමක් විතරක් ළමයින්ට දීලා විභාග පාස් කරලා තමන්ගෙ දරුවව හොඳ තැනකට ගෙනියන්න මහන්සි ගන්නවා මිසක ළමයට අයිති ළමා කාලය ඔවුන්ට විඳින්න ඉඩ දෙන්නෙ නැහැ. මදක් සිතන්න ළමා කාලය සදාකාලික නැහැ. ඒ ජීවිතය ඔබේ දරුවාටත් රිසි සේ විඳින්න දෙන්න. ඒ අත්දැකිම දරුවාට දෙන්න. පොතේ පතේ දැනුමෙන් පමණක් නොව ජීවිතෙන්ම පාඩම් ඉගන ගැනීමට දරුවාට අවස්ථාව ලැබේවි එතකොට. 


දනුෂි ජයවර්ධන

උපාධිධාරියා කොයිබට ද


රටක අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් කෙරෙන වටිනාම සහ බුද්ධිමත්ම ආයෝජනය වන්නේ අධ්‍යාපන ක්‍රියාවලියයි. උසස් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වන්නේ විශ්ව විද්‍යාලයයි. අනාගත අපේක්ෂාවන් වෙනුවෙන් සැලසුම් කළ අධ්‍යාපනයේ අග්‍ර ඵලය සමාජගත වන්නේ ඒ තුළිනි. මෙරට සමස්ථ තරුණ ජනගහණයෙන් ඉතා සීමිත පිරිසකට පමණක් හිමි වන උසස් අධ්‍යාපන වරම සැබවින්ම වටිනා සම්පතක්, භාග්‍යයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් කාලාන්තරයක් වෙහෙසට පත් උපාධිය සමාජයට නොගැළපේ නම් ජව සම්පන්න උගත් තරුණ පරපුර සමාජයට බරක් වීම වැලැක්විය නොහැකි කාරණයකි. විශාල ධනයක් වැය කොට ඔවුන්ව නිර්මාණය කිරීමෙන් සමාජය අපේක්ෂා කළ මෙහෙවර ඉටු නොවන්නේ නම් එතැන සිදු වන්නේ බලවත් වරදකි. එයට ඉතා ඉක්මණින් විසදුම් සෙවිය යුතුය.
රටක අධ්‍යාපනය කාලයට අනුරූපව වෙනස් විය යුතුය. එනම් අධ්‍යාපන සැලසුම් කාලීන විය යුතුය. නමුත් මෙරට කාලාන්තරයක් තිස්සේ ක්‍රියාත්මක වන්නේ ශාස්ත්‍රීය අංශයට බර වූ අධ්‍යාපන ක්‍රමයකි. එනම් ගුරුවරයා විෂය මාලාවකට කොටුවී සිටින අතර සිසුන් සටහන් ක්‍රමය, වනපොත් කිරීම, දේශන ක්‍රමය ආදී වශයෙන් වූ සාම්ප්‍රදායික ඉගනුම් ක්‍රියාවලියකට යටත්ව සිටියි. ඒ තුලින් බිහිවන්නේ හිස පමණක් පිරුණු පිරිසක් පමණි. ඔවුන්ගේ හදවත හෝ දෑත් පෝෂණය වී නොමැත. මෙය දැඩි සමාජ අර්බුදයක් බවට පත්ව ඇත. මන්ද තම රට හා සංස්කෘතිය පිලිබද ඇල්මක් නැති පිරිසක් බිහි වන්නේ නම් ඔවුන්ගෙන් සදාචාරාත්මක ඵලදායි සේවයක් අපේක්ෂා කළ හැකි නොවන්නේය.
විවිධ ක්‍ෂේත්‍ර පෝෂණය කරවන පර්යේෂණ ක්‍රියාත්මක කිරීම බුද්ධිමතුන් වෙත පැවරෙන වගකීමකි. ඒ සදහා මූලික විය යුත්තේ උසස් අධයාපන ක්‍රියාවලියයි. එයට අත්වැල සපයමින් නිසි මග පෙන්විය යුත්තේ විශ්ව විද්‍යාල හරහාය. නමුත් අද වන විට මෙය ගැටලුවක්ව ඇත්තේ විශ්ව විද්‍යාල ආචාර්යවරයා ද පර්යේෂණ ක්‍රියාවලිය තුල කොතෙක් නිරත වන්නේද ඒ තුලින් නව දැනුම නිෂ්පාදන කරන්නේද යන කාරණාවන් කෙරෙහිය.

විශ්ව විද්‍යාල එක්ටැම් ගෙවල් වැනි යැයි ඇතැම්හු කියති. සුපිරි ජාතික ශ්‍රම සම්පත සමාජ සංවර්නධය වෙනුවෙන් නිසි ලෙස යොමු නොවන බව අවධාරණය කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි. දැනුම හමා යන්නට පමණක් විශ්ව විද්‍යාල ශිෂ්‍යයා යොමු නොකොට ඔවුන්ව ප්‍රායෝගිකත්වයට නැඹුරු වූ ශාස්ත්‍රීය ගවේෂණයකට යොමු කිරීම කාලීන වශයෙන් ඉතා වැදගත් කටයුත්තකි. මන්ද ඔහු හෝ ඇය සමාජයේ පෙර ගමන්කරුවෙකු වන්නේ නම් ආර්ථික වශයෙන් පමණක් නොව සමාජීය වශයෙන් ද හිතකර සෙෳභාග්‍යමත් දේශයක් දකින්නට හැකි වනු නොඅනුමානය.


දනුෂි ජයවර්ධන

යහපත් අනාගතයක්


තම තමන්ගේ ජීවිත නිසියාකාරව හැඩගස්වා ගැනීම වෙනුවෙන් සියල්ලෝම සිහින දකිති. ප්‍රාර්තනා කරති. ඒ සිහින, ප්‍රාර්ථනාවන් යතාර්ථයක් වනු දැකීම කාගේත් අභිප්‍රායයි. ඒවා ඉටු කර ගැනීමට තමන්ට බාධා කරන, හරස් වන බලවේග මොනයම් හෝ ක්‍රමයකින් පරාජය කිරීමට මිනිසා පෙළඹෙන්නේය. එය මිනිස් ස්භාවයයි. තම තමන්ගේ අරමුණු වෙනුවෙන් පමණත් නොව තමන්ගේ රටට දේශයට එරෙහිව නැගෙන්නා වූ බලවේග පරාජය කිරීමට ජාතියක් වශයෙන් සාමූහිකව නැගී සිටින්නේ නම් එය කොතරම් අපූරුද ...... සැබවින්ම අද වන විට එය සමාජීය වශයෙන් ප්‍රමුඛ අවශ්‍යතාවයකි.
අපේ දේශය මේ වන විට  තීරණාත්මක අවධියක් කරා ප්‍රෙව්ශ වී ඇත. දශක තුනකට වැඩි කාලයක් තිස්සේ පැවති රුදුරු ත්‍රස්තවාදයේ බියකරු සෙවණැලි මේ වන විට පහව ගොස් ඇත. නමුත් රට තුළ සිදු වන යම් යම් සිදුවීම් තුලින් එය එසේම ද යන බිය ඇති කරත් බුද්ධිමත්ව සිතා බලා අන් අයට තමන්ගේ සිතුවිලි පාලනය කිරීමට ඉඩ නොදීමට තමන් වග බලා ගත යුතුය. මෙතෙක් කලක් අපට වැරදුනු තැනක් බොහෝය. නිවැරදි කර ගත යුතු තැන් බොහෝය. ඒවා නිවැරදි කරගෙන ශක්තිමත් පදනමක් ගොඩ නගා ඒ මත සිට රට ගොඩ නගන්නට කැප විය යුතු කාලය එළඹ ඇතැයි සිතේ.
දෙදහස් පන්සිය වසරක මහා ශ්‍රේෂ්ඨත්වය ගැන බයිලා ගසමින් තමන්ගෙන් ඉටුවිය යුතුකම් වගකීම් ගැන අමතක කරමින් සිටින දේශය අවදි කළ යුතුය. බයිලා ගසන මේ ශ්‍රේෂ්ඨ සංස්කාතිය විනාශ වන්නේ බොහෝ කාලයක සිටය. දේශපාලනය සෑම ක්ෂේත්‍රයකටම වින කර අවසන්ය. මිනිසත්කම අභිබවා මිලේච්ඡත්වය හිස ඔසවා අවසන්ය. සහජීවනය මත පදනම් වූ සමාජය ආත්මාර්ථකාමී මානව ක්‍රියාකාරකම් හමුවේ දෙදරා ගොස්ය. ජාතියක් වශයෙන් අවධි විය යුතු කාලය එළඹ ඇතැයි කියන්නේ ඒ නිසාය.
පෙරදිග ධාන්‍යාගාරය අද වන විට දරුණු ආර්ථික අවපාතයකට ගොදුරු වී ඇත. උද්ධමනය සීග්‍රයෙන් වැඩි වන අතර ජනතාවගේ ජීවන තත්තවය පිරිහෙමින් පවතී. රුපියල්‍ෙ අගය එන්න එන්නම බාල්දු වන අතර ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට කැප විය යුත්තේ මේ නිසාය. ධනය කේන්ද්‍ර කොටගත් සමාජයක මානුශීය ගුණ සුවද ක්‍රමයෙන් වියැකෙමින් පවතී. අධ්‍යාපන ක්‍රියාවලියට සිදුව ඇත්තේත් මෙයම නොවේද... නිර්මාණාත්මක චින්තනය වියැකී ගොසින්ය. අන්ධානුකරණයෙන් මිදී ලෝකය දෙස අලුත් ඇසකින් බලන්නට හැකි නව පරම්පරාවක් බිහි කිරීම කාලීන අවශ්‍යතාවයකි. සරුව පිත්තල හින මැද ජීවත් වන රටේ ජව සම්පන්න තාරුණ්‍යය අවධි කළ යුතුය. බටහිර ගැති චින්තනයෙන් මිදී අපේකම, දේශීයත්වය හදුනා ගන්නට උචිත පසුබිමක් සකස් කර දීම වගකිව යුත්තන්ගේ වගකීමකි. යහපත් අනාගතයක් වෙනුවෙන් සිහින දකිනවා වෙනුවට ඒ වෙනුවෙන් අප නොපමාව ක්‍රියාත්මක විය යුතුය.



දනුෂි ජයවර්ධන