Wednesday, September 13, 2017

ළමා පෞරුෂත්ව සංවර්ධනය හා සියදිවි නසා ගැනීම





සිය දිවි නසා ගැනීම යනු සාමාන්‍ය දෙයක් නොවේ. ඒක් අතකින් බලන කළ එය නීති විරෝධී ක‍්‍රියාවක් වනවා සේම සදාචාර විරෝධි මානව විරෝධි පහත් ක‍්‍රියාවක් ද වේ. සියදිවිනසා ගැනීම යනු ලෝකයටම කරන අසාධාරණයකි. ලෝක මට්ටමින් ගත් කල ශ‍්‍රී ලංකාව සිය දිවි නසා ගැනීම් ප‍්‍රතිශතය අනුව ලොව ඉහළ ම රටවල් කීපය අතර සිටීම කණගාටුවට කාරණයකි. ඉහළ ම ආගමික ළැදියාව, සිය දිවි හානිකර ගැනීම, සාගරයට අපද්‍රව්‍ය එකතු කිරීම යනාදී අංශ ගණනාවකින් ම ශ‍්‍රී ලංකාව ඉදිරියෙන් පසුවීම සමාජ විද්‍යාඥයන්ගේ අවධානයට ලක් විය යුත්තේ ඒ නිසාමය.

ශ‍්‍රී ලංකාව තුළ 1985 - 2000 කාලයේදී පැවති යුද්ධමය වාතාවරණය නිසා නිසා මිය ගිය සංඛ්‍යාව 50,000 ක් පමණ වන බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙනු ලබන අතර එම කාලයේදී එක් ලක්ෂ හය දාහක සංඛ්‍යාවක් සියදිවි හානි කර ගෙන තිබේ. සිය දිවි හානිකර ගැනීමට දරන ලද උත්සාහය එමෙන් කිහිප ගුණයකි. සැලකිය යුතු කාරණය වන්නේ මේ සංඛ්‍යාවෙන් 60% ක් තරුණ පිරිස වීමයි.

වර්තමානය වන විට දිනකට අප රටේ සියදිවි නසා ගන්නා පුද්ගලයන් ප‍්‍රමාණය 10ක් 12ක් වන අතර, දිනපතා ම වයස අවුරුදු 18ට අඩු දරුවන් දෙතුන් දෙනකු ජීවිතයෙන් සමගැනීමට තීරණය කරන බව සමාජ විද්‍යාඥයින් පෙන්වා දෙනු ලබයි. එවන් තත්ත්වයක් උද්ගත වීමට බලපාන හේතු පිලිබඳව සැළකීමේදී පැහැදිලි වන්නේ වර්ෂයකට දරුවන් 1,500ක් පමණ සියදිවි නසා ගන්නා හේතුව රට වෙනුවෙන්වත්, පොදු ඉල්ලීමක් වෙනුවෙන්වත් නොවන බවත් අතිශය පෞද්ගලික කාරණා මුල් කරගනිමින් බවත්ය.  ඒ අතර ආදර සම්බන්ධතා, ෆෙස්බුක් පරිහරණය, විභාග පීඩනය ආදී කාරණා ප‍්‍රමුඛස්ථානයක් ගනු ලබයි.  
මීට අමතරව දෙමව්පියන්ගේ රැුකවරණය අහිමිවීම යන කාරණය ද මෙහිදී විශේෂ වනු ඇත. නවතම දත්ත වාර්තාවන්ට අනුව ශ‍්‍රී ලාංකීය මව්වරු ලක්ෂ තුනකට අධික පිරිසක් තම දරුවන් අනාරක්ෂිතව තනිකර දමා අඩු වැටුපට විදේශ ගතවී ඇති බව හෙළි වේ. මේ හේතුවෙන් මව් පාර්ශවයෙන් හිමිවිය යුතු සෙනෙහස අහිමිවීම හේතුකරගෙන මෙන්ම මේ අනාරක්ෂිත තත්ත්වය යටතේ දී පවුලේ කෙනෙකුගෙන් හෝ වෙනත් පුද්ගලයෙකු අතින් සිදුවන වන අකටයුතුකම් නිසා ද දරුවන් සියදිවි නසා ගැනීමට පෙළඹෙනු ඇත. 
වර්තමානයේදී සමස්ත ළමා පරපුර හා තරුණ පරපුර තුළ පවත්නා පෞරුෂත්ව සංවර්ධනයේ මදකම හේතුවෙන් ඹවුන්ට  ජය - පරාජය විඳ ගැනීමට ඇති හැකියාව ඉතාමත් අවම මට්ටමක පවතී. විවිධ විභාග පීඩනයන් මෙන්ම තරගකාරී අවස්ථාවල ජය-පරාජය ළමා මනසට වේදනාකාරී බව ගෙන දීම තුළින් සමාජය ඉදිරියේ ලැජ්ජාවට, බියට සහ දුකට පත් වීම සිදුවේ. එසේම විවිධ පාර්ශ්වවලින් ලැබෙන අවවාද, තරවටු කිරීම්වලට මුහුණ දීමට ඇති නොහැවියාව නිසා ද සමහරු සියදිවි නසා ගැනීමට පෙළඹීම සැබවින්ම කණගාටුවට කාරණයකි. 

එසේම විවිධ රෝගාබාධ තත්ත්වයන් සහ ශාරීරිකමය වශයෙන් අඩුපාඩුකම් සහිත දරුවන් අන්‍යයන්ගේ විහිළුවට, උපහාසයට ලක් වීම හේතු කරගෙන එම පීඩනය හා තමන් විස්න්ම තමන් පිළිබඳව ඇති කරගන්නා හීනමානය නිසාවෙන් සිය ජීවිතයෙන් සමු ගැනීමට ක‍්‍රියා කරන පිරිසද සැලකිය යුතු ලෙස ඉහළ අගයක් ගනු ඇත.  

මේ සියලු කාරණාවන්ට ප‍්‍රමුඛ හේතුව වන්නේ ළමයා තුළ පවත්නා පෞරුෂ සංවර්ධනයේ මදකමයි. ඒ තුළින් දරුගැනීමේ හැකියාව ඉතාමත් පහළ අගයක් ගන්නා අතර මානසික පීඩනය දුරු කර ගැනීම සම්බන්ධයෙන් නිසි අවබෝධයක් හෝ නිසි මාර්ගෝපදේශනයක් ඹවුන් ෂතුව නැත. මේ සියල්ලක් තුළින් සිදු වන්නේ සියදිවි නසා ගැනීම පවත්නා එකම විසඳුම ලෙස ළමා මනස තුළ තැම්පත් වීමයි. ඒ නිසාවෙන් මේ සියලූ ම කාරණාවලට වගකිව යුතු පිරිස වන්නේ වැඩිහිටියන්ය. දරුවන්ගේ ඉදිරි දැක්ම, අනාගතය වෙනුවෙන් ආධ්‍යාත්මික වශයෙන්ද දරුවන් සමාජයානුයෝජනය කිරීම අත්‍යාවශ්‍ය වන්නේ ඒ නිසාය. නමුත් බොහෝවිට සිදුවන්නේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පමණක් දරුවන් පාසල් යවා, ටියුෂන් මාෆියාවක දරුවන් අතරමං කර දමා විභාග, තරග ඉලක්ක සඳහා පමණක් ළමා මනස මෙහෙයවීමයි. 

නමුත් සිදුවිය යුත්තේ දෙමව්පියන් දරුවන් සමඟ ගත කරන, කතාබහ කරන, සෙල්ලම් කරන, සතුටෙන් සිටින කාලය වැඩි කිරීමයි. දරුවන් සමඟ කතා බහ කිරීම මෙහි දී වඩා වැදගත් වන්නේ ඒ හරහා දරුවාට සමීප වීම තුළින් දරුවා තුළ පත්නා ප‍්‍රශ්න, ගැටලූ ආදිය හඳුනාගැනීමට දෙමාපියන්ට හැකිවන නිසාය. එසේම නිතරම දරුවා පිලිබඳව සොයා බලන බව දරුවාට දැනෙන්නට හැරීම තුළින් දරුවා හුදකලාවීම වළක්වා ගත හැකිය.  
තවද දරුවන්ට කී‍්‍රඩාව සහ සංගීතය වැනි සෞන්දර්යාත්මක අංශ කෙරේ යොමු කරවීම හරහාතීරණ ගැනීම් හැකියාව, සංවේදී බව පාලනය කිරීම ඉතා හොඳින් සිදුකර ගත හැකිය. විභාග ඹගින් ඇති වන පීඩනයද ඒතුළින් අවම කර ගත හැකිය. 

එමෙන්ම මව්පියන් වශයෙන් දරුවාගේ හැසිරීම් රටා පිළිබඳව විමසිලිමත් වීම තුළින් සියදිවි නසා ගැනීම වැනි වැරදි තීරණ ගැනීමෙන් දරුවන් වළක්වාගත හැකි වනු ඇත. ආදරය, කරුණාව, සතුට, සෑහීමට පත් වීම, උද්‍යෝගය වැනි පි‍්‍රයජනක හැඟීම් තමන් තුළ පවතී නම්, ළමයා සතුටින්, සිනහවෙන්, සැහැල්ලූවෙන්, විනෝදයෙන්, කෙළිලොල්ව හැසිරෙන අතර තමන් ප‍්‍රිය කරන දේවල් කරනු ඇත. නමුත් දුක, බය, වේදනාව, කලකිරීම, ලජ්ජාව, එපාවීම, අප‍්‍රසන්න බව, කාංසාව වැනි හැඟීම් ළමයා තුළ පවතී නම්, ඒවා හැසිරීමෙන් පෙනෙනු ඇත. එවැනි හැඟීම් ළමා සිත තුළ පැවතීමෙන් බියසුළු ස්වභාවය, ප‍්‍රචණ්ඩකාරී බව, මුරණ්ඩු බව, නිරන්තරයෙන් අඩ දබර කිරීම, හුදකලාව සිට ප‍්‍රිය කිරීම, සමාජයෙන් කොන් වී සිටීම, සබකෝලයෙන් යුතුව කතා නොකර සිටීම, වැනි හැසිරීම් දරුවන් තුළින් දැක ගත හැකිය. දරුවාගේ මෙවැනි මානසික තත්ත්වයන් ගැන ප‍්‍රවේශමෙන් සොයා බලමින්, එම දරුවාට අවශ්‍ය මානසික සුවය ගෙන දෙන අත්දැකීම්වලට, දරුවා යොමු කිරීම වැඩිහිටි අපගේ වගකීමක් වන අතර එවැනි ක‍්‍රියා තුළින් සියදිවි නසා ගැනීම වැනි දරුනු සමාජ ප‍්‍රශ්නයන්ගෙන් දරුවන් මුදවා ගත හැකිය. 

හැඟීම් හෙවත්, චිත්තවේග සම්බන්ධයෙන්, අප දරුවා විෂයෙන් ඉතා සීරුවට කටයුතු කළ යුතුය. එහිදී ළමා මනස හුරු කළ යුතු වන්නේ සතුටුදායක තත්ත්වයන්ට මුහුණ දීමට පමණක් නොවේ. සතුට හා දුක යන චිත්තාවේග ද්විත්වයටම ඉතා උපේක්ෂාවෙන් මුහුණ දීමට හා දරාගත හැකි ලෙසත් ඒ දෙකම එකසේ හසුරුවා ගත හැකි මානසික තත්ත්වයක් ඇති වන සේත් දරුවා හැඩ ගැස්විය යුතු වන්නේ කුඩා අවධියේ පටන්මය.


දනුෂි ජයවර්ධන



Thursday, September 7, 2017


පවුල හා ළමයා



ළමා අපයෝජනය යන්න වර්තමානය වන විට ලාංකික ජන සමාජය තුළ පමණක් නොව සමස්ථ ලෝකය තුළම පැන නැගී ඇති, විසඳුමක් පෙනෙන තෙක් මානයකවත් නොමැති අති සංකීර්ණ සමාජ ගැටලූවකි. සෑම වසරකම ලෝකයේ වයස අවුරුදු 5න් පහළ කුඩා ළමුන් මිලියන 10ක් පමණ වූ සංඛ්‍යාවක් විවිධ හේතූන් නිසා මරණයට පත් වෙති. එසේම මිලියන 150ක් පමණ ළමුන් ජීවත් වීමට නිවසක් නොමැතිව වීදිවල ජීවත් වන අතර මිලියන 246ක් පමණ ළමුන් ප‍්‍රමාණයක් ලිංගික සූරාකෑම්වලට ගොදුරු වෙති. එහි වඩාත් බරපතල තත්ත්වය වන්නේ මිලියනයකට අධික ළමුන් ප‍්‍රමාණයක් ලිංගික කර්මාන්තයෙහි යොදවා තිබීමයි. මේ හේතුකරගෙන ළමයා පිළිබඳව පෙර නොවූ විරූ ලෙස දැඩි අවධානයක් යොමු කළ යුතු කාලය එළඹ ඇත.

මේ අති සංකීර්ණ සමාජ ප‍්‍රශ්නයට බලපාන මූලික කාරණාවක් වන්නේ ළමයාට සිය පවුල් පරිසරය හා බැඳි අනාරක්ෂිත තත්ත්වය බව හඳුනාගත හැකිය. එය ළමයා විෂයෙහි දරුණු බලපෑමක් වන්නේ ළමයාගේ අනාගතය සුඛදායි හෝ දුඛදායි තත්ත්වයකට පත් කිරීමේ මූලික වගකීම පවුල් පරිසරය මත රඳා පවතින නිසාය. එහිදී මව්පිය දෙපාර්ශවයම ජීවන වෘත්තීන්හි නියුක්ති වීම තුළින් දරුවා දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්වීම අනිවාර්යයෙන්ම සිදු වේ. එසේම නිසි වයසේදී දරුවාට මව්පියන්ගෙන් ලැබිය යුතු ආදරය, සෙනෙහස, රැුකවරණය නොලැබී යන අතරම දරුවාගේ සමාජයානුයෝජන ක‍්‍රියාවලිය හා අධ්‍යාපනික ක‍්‍රියාකාරීත්වය අඩාල වීම, ආධ්‍යාත්මික සුවතාවය ගිලිහී යාම ආදී වශයෙන් දරුවා කායිකව මෙන්ම මානසිකව ද හුදකලා තත්ත්වයකට පත්වීම සිදු වනු ඇත.


මෙම සංසිද්ධියේම තවත් එක් පැතිකඩක් වන්නේ මව විදේශගත වීම හරහා දරුවන් අනාරක්ෂිත තත්ත්වයකට පත් වීමයි. ඒ තුළින් මවගෙන් ඉටුවිය යුතු යුකුකම් මව් පාර්ශවයෙන් ගිලිහී යන අතර පවුල තුළ දරුවා, මවගේ වගකීම් තම කර මතට ගැනීම, ඒ තුළින් අධ්‍යාපනය අඩාල වීම සිදුවේ. මෙවන් පවුල් පරිසරයක් තුළ දැකිය හැකි තවත් කණගාටුදායක සිදුවීමක් වන්නේ පියා මත්පැන් හා මත්ද්‍රව්‍යවලට ගොදුරු වීමයි. එමෙන්ම සිය බිරිඳගෙන් ඉටුවිය යුතු යුතුකම් සිය දරුවන්ගෙන් බලාපොරොත්තු වීම ද ළමුන් සමාජ විරෝධී ක‍්‍රියා හා අපරාධවලට යොමුවීම හා යොමු කිරීම යන කාරණා ද්විත්වයම සිදුවන බව හඳුනාගත හැකිය. 

එසේම පවුල් සංස්ථාව තුළ පවත්නා අඹුසැමි විෂමතාවයන් හා ගැටලූකාරී තත්ත්වයන් යටතේදී ද සෘජු බලපෑමක් එල්ල වන්නේ  දරුවන්ටය. මව පියා අනියම් සම්බන්ධතා පැවැත්වීම, මව පියා දික්කසාද වීම, මව හෝ පියා දෙවනි විවාහයක් සිදුකර ගැනීම වැනි කාරණා හරහා ඔවුන්ගෙන් දරුවන්ට ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් මගහැරීම, දරුවන් පිළිබඳ අවධානය අඩුවීම හා දරුවන් සම`ග පවත්නා සමීපස්ථ සම්බන්ධය දුරස්ථ වීම, මව හෝ පියා දරුවන් ප‍්‍රතික්ෂේප කිරීම, දෙමාපියන්ගේ අයථා සම්බන්ධයන් හා ක‍්‍රියාවන් දැකීමෙන් දරුවන් ද ඒවා අත්හදා බැලිමට යාම හා ඒවා සඳහා ලාබාල වියේදීම පෙළඹීම තුළින් කුඩා අවධියේදීම පෙම්වතුන් බවට පත්වීම දැකගත හැකිය. මෙවැනි වාතාවරණයන් තුළින් දරුවාගේ පෞරුෂ සංවවර්ධන ක‍්‍රියාවලියට ප‍්‍රබල බලපෑමක් සිදුවන අතර අඩුවයස් විවාහ, ළමා ගැබ් ගැනීම්, ගබ්සාව, ගණිකා වෘත්තිය වැනි තවත් සමාජමය ගැටලූ රාශියක් පැන නැගෙනු ඇත. 



මීට අමතරව පවත්නා ආර්ථිකමය දරිද්‍රතාවය, යුධමය වාතාවරණයන්, තාක්ෂණයේ දියුණුව වැනි කාරණා හරහා ළමා අපයෝජන තත්ත්වයන් සීඝ‍්‍රයෙන් වර්ධනය වී ඇත. නෛතිකමය තත්ත්වයන් තුළින් දණ්ඩණයට පත් කිරීමෙන් පමණක් මෙවන් ක‍්‍රියා වළක්වා ගැනීම අපහසු වන අතර අනාවාර්යයෙන්ම මිනිසා තුළ ප‍්‍රබල ආධ්‍යාත්මක සංවර්ධනයක් සිදුවිය යුතුමයි.


දනුෂි ජයවර්ධන


වීදියේ මිලින වන මල් කැකුළු



අනාගත ලෝකයේ භාරකරුවන් වන ළමුන්ට ඔවුන්ගේ සොඳුරු ළමා කාලය සුරක්ෂිතව හා ඵලදායී ලෙස ගත කිරීමට මෙන්ම ඔවුන් කායිකව හා මානසිකව සමෘද්ධිමත් කිරීම පිණිස ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා විය යුතුය. නමුත් වර්තමාන සමාජය දෙස බැලූ විට දැකිය හැකි බරපතළ සමාජ ඛේදවාචකයක් වන්නේ ළමා අයිතිවාසිකම් අමු අමුවේ කඩ වීම්ය. ඒ වෙනුවෙන් කෙතරම් නීති අණ පනත්, සම්මුතීන් පැවතියත් මේ ඛේදාන්තයේ සීඝ‍්‍ර වර්ධනයක් මිස අවම වීමක් සිදුවන බවක් නම් දැකිය නොහැකිය. එහිදී සිය පවුල තුළින් මෙන්ම පවුල් පරිසරයෙන් එපිටදීත් ළමයාගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම් හා ළමයාගේ ගරුත්වය විනාශ කෙරෙන ක‍්‍රියා සිදු වන බව දැකගත හැකිය. මහමග වෙසෙන වීදී දරුවන් හෙවත් මත්වාසී දරුවන්ගේ තත්ත්වය මෙහි ලා ඉතා බැ?රුම් වන්නේ සමාජය තුළ ඔවුන් පත්ව ඇති අනාරක්ෂිත තත්ත්වය නිසාය.

දරුවෙකු වීදි දරුවෙකු බවට පත් වන්නේ ඒ දරුවාගේ වරදක් නිසා නොව සමාජයේ පවතින යම් වරදක් නිසාය. මන්ද ඔවුන්ද මෙලොවට උපත ලබන්නේ වීදී දරුවෙකු ලෙස නොව සාමාන්‍ය දරුවෙකු ලෙසය. මෙරට පවත්නා සමාජ ආර්ථික මූලයන් මේ සඳහා බලපානු ඇත. ලංකාවේ ග‍්‍රාමීය ආර්ථිකය කඩා වැටීම, කේන්ද්‍රීය පවුල බිඳ වැටීම වීදි දරුවන් බිහිවීමට මූලික හේතු ලෙස දැක්විය හැකි අතර ඊට අමතරව කුටුම්භය තුළ දරුවාව නොසළකා හැර දැමීම, දෙමාපියන් මත්පැන්වලට සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් නිවස හිංසාකාරී තත්වයකට පත් වීම නිසා යනාදී කාරණා ප‍්‍රමුඛ කරගෙන ද තම නිවහන අතහැර මාවත නිවහන කර ගත් ළමුන්ද මේ අතර සිටින බවට සමීක්ෂණ වාර්තා සාක්ෂ්‍ය දරනු ඇත. කාරණා කෙසේ වෙතත් ස්වභාවික විපත් නිසා හෝ යුද්ධය වැනි හේතූන් නිසා තම දෙමාපිය නෑ හිතවතුන් අහිමි වූ දරුවන් ද මේ අතර සිටින බව දැකගත හැකිය.

දරිද්‍රතාවය යන්න දරුවෙකු, වීදි දරුවෙකු බවට පත් කිරීමට හේතු වන ප‍්‍රමුඛ කාරණාවකි. එහිදී දරිද්‍රතාවයෙන් පෙළෙන දෙමාපියන් ධනය උපයා ගැනීමේ අයථා හස්තයක් ලෙස දරුවන් භාවිතා කරන්නා සේම දරුවන්ද තම අවශ්‍යතාවන් සපුරා ගැනීමේ මග මෙය ලෙස සළකා එම ජීවිතයට ඇබබැහි වීමක් ද සිදු වනු ඇත. මීට අමතරව නිසි වයසේදී දරුවාට පවුල තුළින් දෙමාපියන්ගෙන් ලැබිය යුතු ආරක්ෂාව, සෙනෙහස, ආදරය, රැුකවරණය වැනි සංවේදී මානුෂීය කාරණා අහිමිවීම හරහා  දරුවන් හුදකලා තත්ත්වයකට පත්වීම නිතැනින් සිදු වේ. මේ බැඳීමේදී මවගේ වගකීම ප‍්‍රබල වන අතර මව පවුල අත හැර යාම, විදේශ ගත වීම මෙන්ම දෙමාපියන් අනියම් සබඳතාවල පැටලීම වැනි දේවල් හරහා දරුවන් වීදි දරුවෙකු ලෙස සමාජගත වීමේ ප‍්‍රවණතාවක් දැකගත හැකිය.

වීදි දරුවන් පිළිබඳ ප‍්‍රශ්නය ලංකාවේ පමණක් නොව ලෝකයේ පවා සමාජ ප‍්‍රශ්නයක් බවට වර්තමානය වන විට පරිණාමය වෙමින් පවතී. ලංකාව පිළිබඳව සළකා බැලීමේදී පෙනී යන්නේ අද්‍යතනය වන විට කොළඹ පමණක් නොව දුරබැහැර ප‍්‍රදේශවල පවා මෙම ප‍්‍රශ්නය ව්‍යාප්ත වෙමින් පවතින බවකි. මෙම ගැටලූවේ අඳුරු ඛේදාන්තය වන්නේ මේ අනාරක්ෂිත දරුවන් විවිධ අපචාර හා අපරාධයන්ට ගොදුරු විය හැකි, නතු කර ගත හැකි ඉඩකඩ බෙහෙවින්ම වැඩි වීමයි. මේ දරුවන් බොහෝ දෙනෙකු මත් පැන්, නීති විරෝධී මත් ද්‍රව්‍ය වෙළඳාම, සොරකම් කිරීම, සම ලිංගික චර්යාවන්, ගණිකා වෘත්තිය ආදී සමාජ විරෝධී කටයුතු සඳහා පොළඹවා ගැනීම් හෝ ඇබ්බැහිවීම් සිදුවීමේ සම්භාවිතාවය ඉහළ අගයක් ගනු ලබයි. ඒ හරහා ළමා වියේ සුන්දරත්වය වෙනුවට තම වයසට ඔරොත්තු නොදෙන අන්දමේ වැඩිහිටියෙකු විසින් අත්දකින අද්දැකීම්වලට යටත් වීමට මෙම දරුවන්ට සිදුවනු ඇත. ඒ තුළින් විවිධ මානසික සංකූලතාවන්ට දරුවා මුහුණ දෙන අතර එය සෘජුව දරුවාගේ පෞරුෂ සංවර්ධනයට බලපානු ලබයි.

එසේම වර්තමානයේදී සි`ගමන් යැදීම තුළ දරුවා අත්‍යාවශ්‍ය වලමක් වී ඇත. වීදි දරුවන් පිළිබඳව කතා කරන විට ඔවුන් සිය යැපීම් මාර්ගය ලෙෂ තෝරා ගෙන ඇත්තේග සි`ගමන් යැදීමයි. වැඩිහිටියෙතුට සාපේක්ෂව දරුවෙකු සිඟමන් යැදීම තුළ අනුකම්පාව ලැබීමේ ප‍්‍රවණතාව ඉහළ අගයක් ගන්නා නිසා වීදිය තුළ යාචක වෘත්තිය සඳහා දරුවා මෙලෙස අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත්ව තිබේ. මෙම දරුවන්ගේ සමාජයානුයෝජනය ක‍්‍රියාවලිය සිදුවන්නේ මෙවන් වාතාවරණයක් යටතේය.

වීදි දරුවෙකු වේවා සාමාන්‍ය දරුවෙකු වේවා ළමයා ළමයාමය. එහි කිසිඳු තර්කයක් නැත. ඔවුන් රටක අනාගත පරම්පරාවයි. නමුත් යම් දවසක රටේ සමාජ ආර්ථික සංවර්ධනයට සක‍්‍රීයව දායක විය හැක්කේ යහපත් ළමා කාලයක් ඔවුන්ට හිමි වුවහොත් පමණි. ඒ නිසා වීදි දරුවන්ගේ ප‍්‍රශ්නයෙන් පැන යාමට කිසිවෙකුට හැකියාවක් නොමැත. ඔවුන්ට ද සු්න්දර ළමා කාලයක් උරුම කර දීම කාගේත් යුතුකමකි.


දනුෂි ජයවර්ධන