Thursday, September 7, 2017


පවුල හා ළමයා



ළමා අපයෝජනය යන්න වර්තමානය වන විට ලාංකික ජන සමාජය තුළ පමණක් නොව සමස්ථ ලෝකය තුළම පැන නැගී ඇති, විසඳුමක් පෙනෙන තෙක් මානයකවත් නොමැති අති සංකීර්ණ සමාජ ගැටලූවකි. සෑම වසරකම ලෝකයේ වයස අවුරුදු 5න් පහළ කුඩා ළමුන් මිලියන 10ක් පමණ වූ සංඛ්‍යාවක් විවිධ හේතූන් නිසා මරණයට පත් වෙති. එසේම මිලියන 150ක් පමණ ළමුන් ජීවත් වීමට නිවසක් නොමැතිව වීදිවල ජීවත් වන අතර මිලියන 246ක් පමණ ළමුන් ප‍්‍රමාණයක් ලිංගික සූරාකෑම්වලට ගොදුරු වෙති. එහි වඩාත් බරපතල තත්ත්වය වන්නේ මිලියනයකට අධික ළමුන් ප‍්‍රමාණයක් ලිංගික කර්මාන්තයෙහි යොදවා තිබීමයි. මේ හේතුකරගෙන ළමයා පිළිබඳව පෙර නොවූ විරූ ලෙස දැඩි අවධානයක් යොමු කළ යුතු කාලය එළඹ ඇත.

මේ අති සංකීර්ණ සමාජ ප‍්‍රශ්නයට බලපාන මූලික කාරණාවක් වන්නේ ළමයාට සිය පවුල් පරිසරය හා බැඳි අනාරක්ෂිත තත්ත්වය බව හඳුනාගත හැකිය. එය ළමයා විෂයෙහි දරුණු බලපෑමක් වන්නේ ළමයාගේ අනාගතය සුඛදායි හෝ දුඛදායි තත්ත්වයකට පත් කිරීමේ මූලික වගකීම පවුල් පරිසරය මත රඳා පවතින නිසාය. එහිදී මව්පිය දෙපාර්ශවයම ජීවන වෘත්තීන්හි නියුක්ති වීම තුළින් දරුවා දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්වීම අනිවාර්යයෙන්ම සිදු වේ. එසේම නිසි වයසේදී දරුවාට මව්පියන්ගෙන් ලැබිය යුතු ආදරය, සෙනෙහස, රැුකවරණය නොලැබී යන අතරම දරුවාගේ සමාජයානුයෝජන ක‍්‍රියාවලිය හා අධ්‍යාපනික ක‍්‍රියාකාරීත්වය අඩාල වීම, ආධ්‍යාත්මික සුවතාවය ගිලිහී යාම ආදී වශයෙන් දරුවා කායිකව මෙන්ම මානසිකව ද හුදකලා තත්ත්වයකට පත්වීම සිදු වනු ඇත.


මෙම සංසිද්ධියේම තවත් එක් පැතිකඩක් වන්නේ මව විදේශගත වීම හරහා දරුවන් අනාරක්ෂිත තත්ත්වයකට පත් වීමයි. ඒ තුළින් මවගෙන් ඉටුවිය යුතු යුකුකම් මව් පාර්ශවයෙන් ගිලිහී යන අතර පවුල තුළ දරුවා, මවගේ වගකීම් තම කර මතට ගැනීම, ඒ තුළින් අධ්‍යාපනය අඩාල වීම සිදුවේ. මෙවන් පවුල් පරිසරයක් තුළ දැකිය හැකි තවත් කණගාටුදායක සිදුවීමක් වන්නේ පියා මත්පැන් හා මත්ද්‍රව්‍යවලට ගොදුරු වීමයි. එමෙන්ම සිය බිරිඳගෙන් ඉටුවිය යුතු යුතුකම් සිය දරුවන්ගෙන් බලාපොරොත්තු වීම ද ළමුන් සමාජ විරෝධී ක‍්‍රියා හා අපරාධවලට යොමුවීම හා යොමු කිරීම යන කාරණා ද්විත්වයම සිදුවන බව හඳුනාගත හැකිය. 

එසේම පවුල් සංස්ථාව තුළ පවත්නා අඹුසැමි විෂමතාවයන් හා ගැටලූකාරී තත්ත්වයන් යටතේදී ද සෘජු බලපෑමක් එල්ල වන්නේ  දරුවන්ටය. මව පියා අනියම් සම්බන්ධතා පැවැත්වීම, මව පියා දික්කසාද වීම, මව හෝ පියා දෙවනි විවාහයක් සිදුකර ගැනීම වැනි කාරණා හරහා ඔවුන්ගෙන් දරුවන්ට ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් මගහැරීම, දරුවන් පිළිබඳ අවධානය අඩුවීම හා දරුවන් සම`ග පවත්නා සමීපස්ථ සම්බන්ධය දුරස්ථ වීම, මව හෝ පියා දරුවන් ප‍්‍රතික්ෂේප කිරීම, දෙමාපියන්ගේ අයථා සම්බන්ධයන් හා ක‍්‍රියාවන් දැකීමෙන් දරුවන් ද ඒවා අත්හදා බැලිමට යාම හා ඒවා සඳහා ලාබාල වියේදීම පෙළඹීම තුළින් කුඩා අවධියේදීම පෙම්වතුන් බවට පත්වීම දැකගත හැකිය. මෙවැනි වාතාවරණයන් තුළින් දරුවාගේ පෞරුෂ සංවවර්ධන ක‍්‍රියාවලියට ප‍්‍රබල බලපෑමක් සිදුවන අතර අඩුවයස් විවාහ, ළමා ගැබ් ගැනීම්, ගබ්සාව, ගණිකා වෘත්තිය වැනි තවත් සමාජමය ගැටලූ රාශියක් පැන නැගෙනු ඇත. 



මීට අමතරව පවත්නා ආර්ථිකමය දරිද්‍රතාවය, යුධමය වාතාවරණයන්, තාක්ෂණයේ දියුණුව වැනි කාරණා හරහා ළමා අපයෝජන තත්ත්වයන් සීඝ‍්‍රයෙන් වර්ධනය වී ඇත. නෛතිකමය තත්ත්වයන් තුළින් දණ්ඩණයට පත් කිරීමෙන් පමණක් මෙවන් ක‍්‍රියා වළක්වා ගැනීම අපහසු වන අතර අනාවාර්යයෙන්ම මිනිසා තුළ ප‍්‍රබල ආධ්‍යාත්මක සංවර්ධනයක් සිදුවිය යුතුමයි.


දනුෂි ජයවර්ධන

No comments:

Post a Comment