Monday, July 18, 2016

උපාධිධාරියා කොයිබට ද


රටක අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් කෙරෙන වටිනාම සහ බුද්ධිමත්ම ආයෝජනය වන්නේ අධ්‍යාපන ක්‍රියාවලියයි. උසස් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වන්නේ විශ්ව විද්‍යාලයයි. අනාගත අපේක්ෂාවන් වෙනුවෙන් සැලසුම් කළ අධ්‍යාපනයේ අග්‍ර ඵලය සමාජගත වන්නේ ඒ තුළිනි. මෙරට සමස්ථ තරුණ ජනගහණයෙන් ඉතා සීමිත පිරිසකට පමණක් හිමි වන උසස් අධ්‍යාපන වරම සැබවින්ම වටිනා සම්පතක්, භාග්‍යයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් කාලාන්තරයක් වෙහෙසට පත් උපාධිය සමාජයට නොගැළපේ නම් ජව සම්පන්න උගත් තරුණ පරපුර සමාජයට බරක් වීම වැලැක්විය නොහැකි කාරණයකි. විශාල ධනයක් වැය කොට ඔවුන්ව නිර්මාණය කිරීමෙන් සමාජය අපේක්ෂා කළ මෙහෙවර ඉටු නොවන්නේ නම් එතැන සිදු වන්නේ බලවත් වරදකි. එයට ඉතා ඉක්මණින් විසදුම් සෙවිය යුතුය.
රටක අධ්‍යාපනය කාලයට අනුරූපව වෙනස් විය යුතුය. එනම් අධ්‍යාපන සැලසුම් කාලීන විය යුතුය. නමුත් මෙරට කාලාන්තරයක් තිස්සේ ක්‍රියාත්මක වන්නේ ශාස්ත්‍රීය අංශයට බර වූ අධ්‍යාපන ක්‍රමයකි. එනම් ගුරුවරයා විෂය මාලාවකට කොටුවී සිටින අතර සිසුන් සටහන් ක්‍රමය, වනපොත් කිරීම, දේශන ක්‍රමය ආදී වශයෙන් වූ සාම්ප්‍රදායික ඉගනුම් ක්‍රියාවලියකට යටත්ව සිටියි. ඒ තුලින් බිහිවන්නේ හිස පමණක් පිරුණු පිරිසක් පමණි. ඔවුන්ගේ හදවත හෝ දෑත් පෝෂණය වී නොමැත. මෙය දැඩි සමාජ අර්බුදයක් බවට පත්ව ඇත. මන්ද තම රට හා සංස්කෘතිය පිලිබද ඇල්මක් නැති පිරිසක් බිහි වන්නේ නම් ඔවුන්ගෙන් සදාචාරාත්මක ඵලදායි සේවයක් අපේක්ෂා කළ හැකි නොවන්නේය.
විවිධ ක්‍ෂේත්‍ර පෝෂණය කරවන පර්යේෂණ ක්‍රියාත්මක කිරීම බුද්ධිමතුන් වෙත පැවරෙන වගකීමකි. ඒ සදහා මූලික විය යුත්තේ උසස් අධයාපන ක්‍රියාවලියයි. එයට අත්වැල සපයමින් නිසි මග පෙන්විය යුත්තේ විශ්ව විද්‍යාල හරහාය. නමුත් අද වන විට මෙය ගැටලුවක්ව ඇත්තේ විශ්ව විද්‍යාල ආචාර්යවරයා ද පර්යේෂණ ක්‍රියාවලිය තුල කොතෙක් නිරත වන්නේද ඒ තුලින් නව දැනුම නිෂ්පාදන කරන්නේද යන කාරණාවන් කෙරෙහිය.

විශ්ව විද්‍යාල එක්ටැම් ගෙවල් වැනි යැයි ඇතැම්හු කියති. සුපිරි ජාතික ශ්‍රම සම්පත සමාජ සංවර්නධය වෙනුවෙන් නිසි ලෙස යොමු නොවන බව අවධාරණය කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි. දැනුම හමා යන්නට පමණක් විශ්ව විද්‍යාල ශිෂ්‍යයා යොමු නොකොට ඔවුන්ව ප්‍රායෝගිකත්වයට නැඹුරු වූ ශාස්ත්‍රීය ගවේෂණයකට යොමු කිරීම කාලීන වශයෙන් ඉතා වැදගත් කටයුත්තකි. මන්ද ඔහු හෝ ඇය සමාජයේ පෙර ගමන්කරුවෙකු වන්නේ නම් ආර්ථික වශයෙන් පමණක් නොව සමාජීය වශයෙන් ද හිතකර සෙෳභාග්‍යමත් දේශයක් දකින්නට හැකි වනු නොඅනුමානය.


දනුෂි ජයවර්ධන

No comments:

Post a Comment