දැනුම පුද්ගලයාට අත්‍යාවශ්‍ය දෙයකි. වර්තමානයේදී සමාජය තුල කෙනෙකුගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා දැනුම යන සාධකය ප්‍රධාන වී ඇත. අවශ්‍යතා අසීමිත වූ සංකීර්ණ ජීවන රටාව තුළ සමාජයේ පැවැත්ම උදෙසා පුද්ගලයාට දැඩි ආයාසයක් දැරිය යුතු වන අතර දැනුම ඇති පුද්ගලයාට සමාජය තුල පහසුවෙන් ජීවත් වීමට අවකාශය ලැබේ. එපමණක් නොව ජීවිතය නිසි පරිදි කලමනාකරණය කර ගැනීමටද හැකියාව ලැබේ. මේ නිසාවෙන් නූතන සමාජය වැඩි දෙනෙකු විසින් හඳුන්වනු ලබන්නේ දැනුම පාදක කරගත් සමාජයක් නොහොත් දැනුම් සමාජයක් වශයෙනි. දැනුම ලබා ගැනීමේදී ක්ෂේත්‍ර ගණනාවක් උපකාරී වන අතර එහිදී කියවීම යන සාධකය සුවිශේසී වේ.
සරලව ගත් කල කියවීම යනු ලියන ලද සංකේතයන් හඳුනා ගැනීමයි. කියවීම කලාවකි. වර්තමාන සමාජය තුල සමාජ සහයෝගීතාවය වර්ධනය කර ගැනීම සඳහාත් , ආත්ම විශ්වාසය ඇති කර ගැනීම පිණිසත්, වෘත්තීමය කාර්යක්ෂමතාවය සඳහාත්, ආත්ම විශ්වාසය ඇති කර ගැනීම සඳහාද කියවීමේ හැකියාව ප්‍රයෝජනවත් වේ. අතීතයේ පටන්ම පාඨශාලා විෂය මාලාවෙහි ඉහළ තැනක වැජඹෙන කියවීම අද එදාටත් වඩා අගය කරනු ලබන්නේ කියවන සමාජ පරපුරක් බිහි කිරීමේ අවශ්‍යතාවය පළල් වන නිසාය.
පොත්පත්, සඟරා ආදිය කියවීම තුලින් පුද්ගලයාට තම දැනුමේ මායිම පුළුල් කර ගත හැකිය. බුද්ධි ගවේෂණයට මහෝපකාරී වන්නා සේම උසස් රසවින්දනයක් ලබා ගැනීමටද කියවීම මග පාදනු ලබයි. එහිදී නවකතා, කෙටිකතා, කාව්‍ය සංග්‍රහ, චිත්‍රකතා ආදිය වැදගත් වේ. තමා තුල පවත්නා නිර්මාණශීලීත්වය වැඩි කර ගැනීමටද කියවීම තුලින් ලැබෙන පන්නරය ඉතා විශාලය. කියවීමේ අගය හා ඒ සඳහා පුද්ගලයා නැඹුරු කිරීම , සමාජ කතිකාවතක් ලෙසට වැඩි අවධානයක් දිනා ගත්තද කියවීම නූතන මානවයාගේ ජීවිත වලට ලංව ඇතිද යන්න ප්‍රශ්නාර්ථයකි. කාර්යබහුල, අවිවේකී ජීවන රටාව මෙහිදී ප්‍රධාන බාධකය වී ඇත. විවේකී අවස්ථාවන් වල පවා පොතක් පතක් කියවනවා වෙනුවට රූපවාහිනිය, වීඩියෝ ගේම් වැනි විද්‍යුත් මාධ්‍යන් ඇසුරු කිරීම වැඩි දෙනාගේ පුරුද්දයි.
මෙහිදී කාගේත් අවධානය යොමු විය යුතු විශේෂ කාරණය වන්නේ ළමා පරපුර තුල පවත්නා කියවීමේ රුචිකත්ව මදකමයි. කියවීමට ආරම්භක සීමාවක් හෝ අවසාන සීමාවක් නොමැති හෙයින් කුඩා අවදියේ පටන්ම කියවීම කෙරෙහි පෙළඹවීමක්, රුචිකත්වයක් ඇති කල හැකිය. පාසලට සාපේක්ෂව ඒ සඳහා උචිත වටපිටාවක් නිවස තුලම ඇති කිරීමේ දෙමාපියන්ගේ වගකීම වන්නේය. දරුවාගේ උපන්දිනයට ජංගම දුරකථනයක්, වීඩියෝ ගේම් උපකරණයක් තෑගි කරනවාට වඩා හොඳ පොතක් තෑගි කිරීම දරුවාගේ අනාගතය වෙනුවෙන් කරන්නා වූ ඵලදායි කටයුත්තක් වන්නේය.
කියවීමෙන් මිනිසා සම්පූර්ණ කරයි යන්න නිතර දෙවේලේ කණට ඇසෙන දෙයක් වුවද කියවීම තුලින් තමාව සම්පූර්ණ කර ගැනීමට කල්පනා කරන්නේ කීයෙන් කී දෙනාද? බුද්ධි ගවේෂණයට වඩා ධනය ප්රමුඛ කොට ගත් සමාජයක කියවීමේ අගය එදාටත් වඩා අදට දැනෙන්නේය. රටේ අනාගතය භාර ගැනීමට සවිබල ගැන්වෙන ළමා පරපුර සහ තාරුණ්‍යය කියවීම කෙරෙහි යොමු කරවීම යුගයේ අවශ්‍යතාවය මෙන්ම දැනුමැති සමාජයක පරිපූර්ණත්වයයි.
දනුෂි ජයවර්ධන
දනුෂි ජයවර්ධන
No comments:
Post a Comment