මිනිසා විසින්ම ඇති කර ගන්නා වූ විවිධ බෙදීම් සමාජ ප්රගමනයට බාධාවකි. ලාංකික ජන සමාජයේ පැහැදිල් පරිවර්ථනයක් සිදු වූයේ බුදු දහම මෙරට ව්‍යාප්ත වීමත් සමගය. බුදුන් වහන්සේ පවා කාන්තාවට හිමි කර දුන්නේ ගෞරවණීය ස්ථානයකි. ලාංකික බෞද්ධ ජනතාවගේ වන්දනීයත්වයට හා පූජනීයත්වයට පත්ව ඇති ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා දළඳා වහන්සේ පවා ලංකාද්වීපයට වැඩම කර වූයේ කාන්තාවන් විසිනි. වර්තමානය වන විට ගතානුගතික ආකල්ප බැහැර කරමින් කාන්තාවගේ භූමිකාව සමාජය තුල පළල් වී ඇත. අවශ්‍යතා අසීමිත සංකීර්ණ සමාජ ප්රපංචය තුල ඇගේ කාර්යභාර්ය වඩාත් බලපෑම්කාරී වේ. නිවසේ කාර්යයන් මෙන්ම විවිධ ක්ෂේත්‍ර ඔස්සේ රැකියාවන් වල නියුක්ත වෙමින් කුටුම්භය තුල ආර්ථිකය නගා සිටුවීමටද පුරුෂයාට සමාන දායකත්වයක් ලබා දෙනු ඇත.
නමුත් උඩුයටිකුරු වූ සමාජ ආර්ථික පසුබිම හමුවේ පීඩාවට පත් වන්නේදි කාන්තාවය. ආර්ථික දුෂ්කරතා මෙන්ම විවධ සමාජ තත්වයන් හමුවේ අපේක්ෂාභංගත්වයට පත්ව දුක්විඳින තරුණියන් කාන්තාවන් ගණන අපමණය. විවාහ දිවියට එළඹ සිය සැමියාගේ තාඩන පීඩන වලට ලක්ව දුක් දෝමනස්සයන් තනියම විඳිනා කාන්තාවන්ගේ ප්‍රමාණය මෙතකැයි කියා නිම කල නොහැක. දශක තිහකට වඩා වැඩි කාලයක් පුරාවට මෙරට පැවති යුද්ධයේදී වැඩිපුරම පීඩාවටපත්, අගතියට පත් පාර්ශවය වූයේ කාන්තාවය. මෙරට අපරාධ වාර්තා හා අදාල අංශ වෙත ඉදිරිපත් වන පැමිණිලි ගණන දිනෙන් දින ඉහළ යාමක් මිස අඩු වීමක් නැත. කාන්තාවට එරෙහි ප්රචණ්ඩත්වය, දූෂණය, අපයෝජනය සිඝ්‍රයෙන් වර්ධනය වේ. බොහෝ අවස්ථා වලදී සමාජීය බන්ධනයන් තුල සිරවන කාන්තාව තමන්ට සිදු වන ඇතැම් අසාධාරණකම් නීතිය හමුවට ගෙන ඒමට පවා මැලිකමක් දක්වයි. ඒ නිසාවෙන් බොහෝ අපරාධ ක්‍රියා, අයථා ක්‍රියා වාර්ථා වලට එක්වන්නේ නැත.
සමාජය කොතරම් වේගයෙන් ඉදිරියට ගියත් කාන්තාව යනු පහත් දුබල කොටසක් බවට පවතින මතය ඇතැමුන් තුල තවමත් පවතී. අතීතයේ පටන්ම කාන්තාව සූරා කෑමට ලක් වූවාය. වර්තමානය වන විට ඥාතීන්ගෙන් ඈත් වීම, පවුලේ අවශ්‍යතා සඳහා ඥාතීන්ගෙන් උපකාර නොමැති වීම, පවුල තුල හුදකලා වීම යන කාරණා සෘජුව බලපා ඇත්තේ කාන්තාවන්ටය. ඇගේ ආරක්ෂාවටය. මෙහෙදී ජනමාධ්‍ය වෙතටද ඇගිල්ල දිගු කිරීමට සිදු වේ. සියල්ල මුදලට තීරණය වන පරිභෝජනවාදී සමාජය තුල වඩාත් පීඩනයට පත් වන්නේ ස්ත්‍රියයි. රූපවාහිනියේ සිට ෆේස්බුක් දක්වා මාධ්‍ය තුල ස්ත්‍රිය වෙළඳ භාණ්ඩයක්, ලිංගික භාණ්ඩයක් වී ඇත. වාණිජ පරමාර්ථ අපේක්ෂාවෙන් ඇය එහි කෙලි භාණ්ඩයකි. අපහාසාත්මක පරිසරයක් වටා ගොඩනගා ඇති කාන්තාවගේ භූමිකාව තුල මාතෘත්වය පවා හෑල්ලුවට ලක්කොට ඇත .
වර්තමාන ශ්‍රී ලාංකික කාන්තාව දැනුවත් කිරීම හා පෙල ගැස්සවීම මගින් අසාධාරණයේ, ප්රචණ්ඩත්වයේ දූෂණයේ අපයෝජනයේ ගොදුරක් බවට පත්වීමට ඇයට ඇති අයිතිය තහවුරු කිරීමත් , නීතියේ ආවරණය පිලිබඳ මු`ථ මහත් සමාජයම දැනුවත් කිරීම යුගයේ අවශ්‍යතාවයකි. තවද දියණියක බිරිඳක මවක සොහොයුරියක ලෙස ඇයගේ භූමිකාව මෙන්ම ඇයට හිමි විය යුතු ගෞරවය පිලිබඳව සමාජය තුල ප්‍රබල හැගීමක් ඇති කල යුතුමය. කාන්තාවගේ ගෞරවය ආරක්ෂා කර බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි සාමකාමී සමාජ වටපිටාවක් නිර්මාණය කල හැකි වන්නේ එවිටය . දරුවෙකු තම මවට ගරු කරමින් සෙනෙහස දක්වන්නේ නම් සැමියෙකු තම බිරියට ගරු කරමින් සෙනෙහස දක්වන්නේ නම් කාන්තාවකට අවශ්‍ය සුරක්ෂිතතාවය නිතැනින්ම ගොඩ නැගෙන්නේය.
දනුෂි ජයවර්ධන
දනුෂි ජයවර්ධන
No comments:
Post a Comment